වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණ වෙයි

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා වූ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණ 1.6% ක වර්ධන අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2020 පළමු කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ කරුණු අනාවරණය කර සිටියි.

මේ වසරේ පළමු කාර්තුව මැද සිට ආර්ථිකයට එල්ල වූ නව කොරෝනා වසංගතයේ බලපෑම මේ තත්ත්වය සඳහා හේතුවී ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම නිෂ්පාදන, ඉදිකිරීම්, මගී ප්‍රවාහන (ගොඩබිම් සහ ගුවන්), පතල් සහ කොරි, සංචාරක, සිල්ලර වෙළෙඳාම සහ කෘෂිකාර්මික සහ ධීවර යනාදී ඇතැම් ක්‍රියාකාරකම් වෙත මෙම කොවිඩ්-19 බලාපොරොත්තු නොවූ ආකාරයෙන් බලපෑම් එල්ල කළ බව දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මෙම බලපෑම ලෝකයා වෙතත් දැනී ඇති බවත්, ඒ හරහා සිදුව ඇති ලෝක ආර්ථිකයන්හි මන්දගාමී වීම 2001 වසරේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව සිදුවූ දරුණුතම අවස්ථාව ලෙසටත් සඳහන් කර ඇත.

“ලෝක ආර්ථිකයේ පසුබෑමේ ප්‍රවණතාවයත් සමග, 2020 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයද පසුබෑමට ලක්ව තිබේ. එහිදී කෘෂිකාර්මික, කර්මාන්ත සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු ඍණ වර්ධන වේග වාර්තා කර ඇති අතර, සේවා අංශය පමණක් 3.1%කින් අඛණ්ඩව වර්ධනය වී තිබේ.” දෙපාර්තමේන්තුව පවසයි.

“2020 පළමු වාර්තුවේ අවසාන සති දෙක (මාර්තු 20 සිට මාර්තු 31 දක්වා) තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මුළු රටම වසා දැමීමට සිදු වූ අතර, අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැරුණු විට පෙර වසරේදී මෙන් සම්පූර්ණ කාර්තුව තුළම ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය නොවුණි.” දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

එසේම 2019 වසරේ අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ප්‍රහාරය ආර්ථිකයේ අංශ කිහිපයකට දිගින් දිගටම අහිතකර ලෙස බලපා තිබූ බවත් එමගින් එම අංශවල වර්ධන අපේක්ෂාවන් යථා තත්ත්වයට පත් නොවීමද මෙම කාර්තුවේ ආර්ථික පසුබෑමට තවදුරටත් දායක වූ බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී සිටියි.

මේ අතර 2020 පළමු කාර්තුව සඳහා පවත්නා මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,845,900 ක් වන අතර, පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙම අගය රුපියල් මිලියන 3,773,551ක් ලෙස වාර්තා වී ඇති අතර, ඒ අනුව පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය 1.9%ක සුළු ඉහළ යෑමක්ද වාර්තා කර ඇතැයිද ජන ලේඛන හා සංඛ්‍යාලේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Visits: 96