ICTA සභාපති ජයන්ත DIMO අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA)  වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයන්ත මයිකල් ද සිල්වා මහතා ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී (DIMO) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

මෙහිදී ජයන්ත මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නම් කෙරී තිබේ. අද දිනයේ පටන් මෙම පත් කිරීම බලාත්මක වන බවද ඩිමෝ සමාගම පවසයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සිවරත්නම් රන්ජීවන් මහතා එම තනතුරින් විශ්‍රාම ගැනීමත් සමගම පුරප්පාඩු වූ අධ්‍යක්ෂ මණ්ඩල තනතුර සඳහා ජයන්ත ද සිල්වා මහතා පත් කෙරී ඇත.

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 30කට අධික අත්දැකීම් සහිත ජයන්තද සිල්වා මහතා, එම ක්ෂේත්‍රය තුළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශාල කාර්ය භාරයක් සිදු කළ අයෙකු බව  පිළිගැනීමට ලක්ව ඇත.

ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානයේ (SLASSCOM – Sri Lanka Association of Software and Service Companies) ආරම්භක සාමාජිකයෙකු මෙන්ම හිටපු සභාපතිවරයෙකුද වෙයි. එසේම ඒ මහතා මෘදුකාංග අප නයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි.

බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි (BCS) හි සභාපතිවරයා වන ජයන්තද සිල්වා මහතා මීට පෙරද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කර ඇත. එසේම ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනය ආයතනයේ (UCSC) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

Visits: 185