හර්ෂ අමරසේකරගේ අධ්‍යක්ෂ මණ්ඩල ලැයිස්තුවට සම්පත් බැංකුවත්

ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය සහ බුද්ධිමය දේපළ නීතිය ඇතුළු ක්ෂේත්‍ර තුළ ඉහළ අත්දැකීමක් සහිත ජනාධිපති නීතීඥ ශිරාන් හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ගැනීමට තීරණය කෙරී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය ජූලි 30 රැස් වූ සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ලබන අගෝස්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස පත්වීමට නියමිතව ඇත.

එහිදී විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ඒ මහතා පත් කෙරෙන බවත්, එම අවස්ථාව වනවිට අමරසේකර මහතා සතුව බැංකුවේ කිසිදු ආකාරයක කොටස් හිමිකමක් නොමැති බවත් සඳහන් වෙයි.

1987 වසරේදී නීතීඥ සංගමය වෙත බැඳී ඇති අමරසේකර මහතා 2012 වසරේදී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස දිව්රුම් දී තිබේ. මෙම කාලසීමාවේදී ඒ මහතා සතුව වාණිජ අධිකරණය තුළ මෙන්ම අභියාචනා අධිකරණය තුළදීද අත්දැකීම් සම්භාරයක් සහිත බව පැවසෙයි.

හර්ෂ අමරසේකර මහතාගේ මෙම නව පත්වීමට පෙරාතුව මේ වනවිටත් ඒ මහතා තවත් අධ්‍යක්ෂ මණ්ඩල රැසකම සාමාජිකත්වය දරයි. එහිදී ඔහු කොළඹ කොටස් වෙළෙඳ පොලෙහි ලැයිස්තුගත සමාගම් වන සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී (සභාපති), ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (සභාපති), වැලිබල් පවර් එරත්න පීඑල්සී (නියෝජ්‍ය සභාපති) ලෙස ධුර දරයි. එසේම වැලිබල් වන් පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, ෂෙව්රොන් ලුබිරිකන්ට්ස් ලංකා පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, ඇම්බිඔන් කැපිටල් පීඑල්සී සහ අමායා ලෙෂර් පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල ධුර දරයි. මීට අමතරව අමානා බෑන්ක් පීඑල්සීහිද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන් ඉවත්ව තිබේ.

සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති මලික් රණසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, නියෝජ්‍ය සභාපති ධාරා විජේතිලක, අනිකා සේනානායක, රනිල් පතිරණ,රුෂාන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සන්ජීව වීරවරණ, දෙෂාල් ඩි මෙල් සහ වජිර කුලතිලක විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

Visits: 205