මෙරට පාසල් දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවට ජපානයෙන් ටින් මාලු

මෙරට තුළ ක්‍රියාත්මක ජාතික පාසල් ආහාර වැඩසටහන යටතේ දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ජපාන රජය, ජපාන යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 915ක්) වටිනාකමක් සහිත ටින් මාලු මෙට්‍රික් ටොන් 388ක තොගයක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන සහ ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම ප්‍රදානය සිදු කර තිබේ.

පසුගියදා ජපාන තානාපති නිල නිවසේදී පැවැත්වුණු උත්සවයකදී ඊට අදාළ ප්‍රදානය සංකේතාත්මකව සිදු කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපති ටොෂිහිරෝ කිතමුරා සහ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වන නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ද්‍රියා බෙරාර්ඩෝ අතර මෙම ප්‍රදානය පිළිබඳවන එකඟතා හුවමාරු කරගෙන ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. චිත්‍රානන්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රියාකාරකම් පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩබ්ලිව්. ධර්මසේන, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය සහ පෝෂණ අධ්‍යක්ෂිකා රේනුකා පීරිස් යන මහත්ම මහත්මීන්ද සහභාගි වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපති ටොෂිහිරෝ කිතමුරා මහතා, “ශ්‍රී ලංකා සහ ජපානය රජයන් අතර දෙරටේම ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගිතා හවුල්කාරීත්වයත් සමගින්ම වසර ගණනාවක් පුරා වඩාත් හොඳ සබඳතාවක් පවත්වාගෙන යනවා.” යනුවෙන් සඳහන් කරයි.

එහිදී විශේෂයෙන්ම 2011 වසරේ මාර්තු මාසයේදී නැගෙනහිර ජපානය වෙත බලපෑ සුනාමි ව්‍යසන අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය ජපාන ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදල් ප්‍රදානයක් මෙන්ම තේ බෑග් මිලියන 3ක් ප්‍රදානය කරමින් එම සහයෝගිතාව මනාව පෙන්නුම් කළ බවත් වැඩබලන තානාපතිවරයා මතක් කර දී ඇත.

මෙම ප්‍රදානය හරහා ලබා ගෙන මෙට්‍රික් ටොන් 388ක් පමණ වන ටින් මාලු මගින් වඩාත් පෝෂ්‍යදායී ආහාර වේල් මිලියන 19ක් සකසා ගත හැකි බවත්, ප්‍රෝටීනවලින් අනූන මෙම ආහාර වේල් පාසල් දරුවන් 270,000 දෙනෙකු වෙත සෑහෙන බවත් පැවසෙයි.

ලෝක ආහාර වැඩසටහනේ දායකත්වයද සමගින් 2003 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ජාතික පාසල් ආහාර වැඩසටහන, කොවිඩ්-19 බලපෑමත් සමගින් සිදු වූ පාසල් වැසීමත් සමගම මේ වනවිට ඇණහිට ඇත. ජපාන රජය ලෝක ආහාර වැඩසටහන හරහා 2011 වසරේ සිට මෙම වැඩසටහන වෙත දායකත්වය සපයයි.

ඒ අනුව මේ දක්වා ජපාන යෙන් බිලියනයක් පමණ වටිනා ටින් මාලු මෙට්‍රික් ටොන් 1,500ක ප්‍රමාණයක් ලබා දීමට ජපාන රජය කටයුතු ‍යොදා ඇතැයි  පවසයි. එහිදී සතියකට දෙවතාවක් පාසල් ආහාර වේල් සකස් කිරීමටත්, එහිදී විවිධාංගීකරණය, පෝෂණය සහ රසය වෙනුවෙන් මෙම ටින් මාලු ප්‍රදානය කෙරුණු බවත් ජපාන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Visits: 48