දළ දේශීය නිෂ්පාදිතය හැකිලෙන බවට වන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද බවට ඇතැම් මාධ්‍යයන්හි පළ වී ඇති සාර්ව ආර්ථික පුරෝකතන පිළිබද සාවද්‍ය වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

“2020 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ප්‍රමාණයකින් සංකෝචනය වන බව සහ අයවැය හිඟය විශාල ලෙස පුළුල් වන බවට මහ බැංකුව විසින් පුරෝකතන සංශෝධනය කර ඇතැයි පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ඒවාය.” ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

විශේෂයෙන්ම මහ බැංකුවේ ආර්ථික පුරෝථන පුළුල් ලෙස සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන 2020 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතව ඇති බවත්, එම දත්ත නිකුත් වූ පසුව මහ බැංකුව විසින් අදාළ සංශෝධිත පුරෝකතන ප්‍රකාශයට පත් කරන බවත් මහ බැංකුව වැඩිදුරටත්  පවසයි.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එහි සාර්ව ආර්ථික පුරෝකතන සඳහා කිසිදු යාවත්කාලීන කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කර නොමැත.” මහ බැංකුව නිවේදනයක් මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

එහිදී විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය මගින් නිර්මාණය කර ඇති තත්ත්වයන් යටතේ සාර්ව ආර්ථික පුරෝකතන සඳහා නිරන්තර යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන අතර, එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ සම්මත දර්ශක ලැබෙන අයුරින් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම තත්කාලීනව ලබා ගත හැකි සාම්ප්‍රදායික නොවන දර්ශක ද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්ලේෂණ සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශන සඳහා යොදා ගනිමින් සිටින බවත් මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, අප්‍රේල් මාසයේදී නිකුත් වූ මහ බැංකු වාර්ෂික වාර්තාව සකස් කරන අවස්ථාවේදී රටෙහි ආර්ථික වර්ධන වේගය 4%ත් 4.5%ත් අගයක් ගනීවි යනුවෙන් බලාපොරොත්තු තබා තිබූ බවත්, එහෙත් කොවිඩ්19 වසංගතය නිසා එම ආර්ථික වර්ධන වේගය 1.5%ක් දක්වා පහත වැටෙනු ඇතැයි ගණන් බලා තිබෙන බවත් මහ බැංකුව මේ මාසය ආරම්භයේදී පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී සඳහන් කර තිබුණි. එහෙත් එය අවසන් අගය නොවන බවත් මහ බැංකුව පවසා තිබුණි.

විශේෂයෙන්ම තවමත් 2002 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවත්, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් එය ඉදිරියේදී එළිදක්වනු ඇති බවට මහ බැංකුව විශ්වාසය තබා ඇතැයිද මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා එහිදී පවසා තිබුණි.

පෙර ලිපිය – වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථික වර්ධන වේගයේ වෙනසක්?

Visits: 52