සෙලාන් නිසා බැංකු ක්ෂේත්‍රයේද ඇතුළුව ආයෝජක ආකර්ෂණය ඉහළට

අද දිනයේ කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු සිදු කළ සමාගම් අතරින් සෙලාන් බැංකුව මගින් බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා පෙන්නුම් කළ ඉපැයීම් හේතුවෙන් යළිත් වතාවක් බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති වූ මිලදී ගැනීමේ කැමැත්ත ඉහළ යාමත් සමගම, ඇති වූ ආයෝජක විශ්වාසයේ වර්ධනය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද යම් ධනාත්මක අවස්ථාවකට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද (2020 ජූලි 31) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද දින තුනකට පසුව ධන අගයක් ගනිමින් 2020 ජූලි මාසයේ ගනුදෙනු නිමාවට පත් විය.

එසේම අද දිනයේදී බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍ර පරයමින් දේපළ වෙළෙඳ ක්ෂේත්‍රය සමස්ත පිරිවැටුම සඳහා ප්‍රධාන දායකත්වය ලබා දී ඇත.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,091.01 ත් ඒකක 5,135.39 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,124.26ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ජූලි 30 දාට) සාපේක්ෂව එය ඒකක 36.16 ක් එනම් 0.71%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු කිහිපයක් සමස්ත පිරිවැටුම සඳහා 12%ක දායකත්වයක් සපයා තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 54 ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+5.43), එල්.ඕ.එල්.සී පීඑල්සී LOLC (+4.24), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.46), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.05), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.24), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී CLC (-1.36), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-1.35), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-0.88), ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ASCO (-0.54)  සහ අමානා බෑන්ක් පීඑල්සී ABL (-0.53) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,179.65 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 30ට) සාපේක්ෂව ඒකක 26.25 ක එනම් 1.22%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.39ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (30දා) වාර්තා කළ රුපියල් බිලියන 1.06ට සාපේක්ෂව 31%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම ගැනුම්කරුවන් බවට පත්ව තිබුණි.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.41 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.42%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 366.39ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 317.88ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 48.51 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.04ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 305.43 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 109.92ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 387 ක් සඳහා දේපළ වෙළෙදාම් ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 305ක සහ රුපියල් මිලියන 216ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 334