බැංකු සහ මූල්‍ය සමාගම් තුළ තවදුරටත් පෙන්නුම් කරන පීඩනයත් සමග කොටස් වෙළෙඳ පොළ තෙවැනි දිනටත් ඍණ වෙයි

අද දිනයේ සිදු වූ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා එල්ඕඑල්සී සමූහයේ සමාගම් මගින් දැක්වූ ධනාත්මක දායකත්වය මෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පෙන්නුම් කළ බලාපොරොත්තු නොවූ ධනාත්මක නැඹුරුවක් පැවතියත් බැංකු සහ අනෙකුත් මූල්‍ය ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක් තවදුරටත් පවතින පීඩනය හේතුවෙන් පිට පිට තෙවැනි දිනයටත් අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක අගයන් ඍණ තත්ත්වයකට පත් වූ බව කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද (2020 ජූලි 30) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,076.43 ත් ඒකක 5,093.76 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,088.10ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ජූලි 29 දාට) සාපේක්ෂව එය ඒකක 5.90 ක් එනම් -0.12%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී කොමර්ෂල් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පෙර කළ සාකච්ඡා එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනුවක් සමස්ත පිරිවැටුම සඳහා 27%ක දායකත්වයක් සැපයීය.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 49ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80 ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සී.ටී. හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+5.43), එල්.ඕ.එල්.සී පීඑල්සී LOLC (+3.53), බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+2.35), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+1.51), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+1.36), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.92), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.46), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-2.84), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (-2.30)  සහ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.53) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,153.40 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජූලි 29ට) සාපේක්ෂව ඒකක 9.69 ක එනම් -0.45%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.06ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (29දා) වාර්තා කළ රුපියල් මිලියන 830 සාපේක්ෂව 29%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.40 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.02%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 279.5ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 343.18ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 63.96 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.09ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 17.50 කි. එසේම කොමර්ෂල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 47.97ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 465 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 45% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ද්‍රව්‍යමය නිෂ්පාදන ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළීවෙලින් රුපියල් මිලියන 230ක සහ රුපියල් මිලියන 162ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 316