මහල් 16ක ගොඩනැගිල්ලකට BOI සහ වැලිබල් ප්‍රොපර්ටීස් අතර එකඟතාවක්

කොළඹ 03 ප්‍රදේශය තුළ මහල් 16 කින් යුත් නවීන පන්නයේ කාර්යාල ගොඩනැගිල්ලක්  ඉදිකිරීම සඳහා වන එකඟතාවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වැලිබල් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම අතර අත්සන් තැබීමක් සිදුව ඇතැයි එම මණ්ඩලය පවසයි.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 8.1 කි. මේ හරහා ඍජු රැකියා අවස්ථා 200ක් පමණ උදා වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මෙහිදී ව්‍යාපෘතියට අදාළ එකඟතාව අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සහ වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.බී. රන්ගමුව මහතා අතර සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති රන්ගමුව මහතා, “මෙම අභියෝගාත්මක අවස්ථාවේදී වුවත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම අප සැමගේම වගකීමයි. ඒ නිසා කිසිදු පමාවකින් තොරව අපි අපගේ මෙම ආයෝජනයන් සිදු කිරීම සඳහා තීරණය කරමින් රටෙහි ආර්ථිකය වෙත වැලිබල් වෙතින් ලබා දිය යුතු දායකත්වය වෙනුවෙන් යොමු වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මෙහිදී වඩාත් සුවිශේෂී ගෘහනිර්මාණයකින් යුක්තව ඉදි කෙරෙන මෙම කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ මාස 18ක කාලයකදී නිම කිරීම සැලසුම වී තිබේ.

වැලිබල් ප්‍රොපර්ටීස් සමාගම ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වැලිබල් සමාගම් සමූහයේ අලුත්ම සාමාජිකයාද වෙයි.

Visits: 122