මහමැතිවරණ අපේක්ෂකයන් ෆේස්බුක්හි රුපියල් පන්කෝටියක දැන්වීම් දාලා?

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සිය  මැතිවරණ දැන්වීම් ප්‍රචාරය කිරීමට යොමුව ඇති පිරිස මේ දක්වා රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂ හැත්තෑ අට දහසකට අධික මුදලක් (ඩොලරයක් රුපියල් 188 වටිනාකම අනුව) ඒ සඳහා වියදම් කර ඇතැයි වාර්තා වෙයි.

ලබන අගෝස්තු 05 වැනිදා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව පසුගිය මැයි මාසයේ අවසන් කාලසීමාවේ සිට ජූලි 26 වැනිදා දක්වා කාලසීමාව තුළදී මෙම අපේක්ෂකයන් ෆේස්බුක් දැන්වීම් සඳහා වියදම් කර ඇති මුදල එක්සත් ජනපද ඩොලර් 303,610 ක් බව මාධ්‍ය වාර්තා පවසයි. එහිදී අපේක්ෂකයන් මේ දක්වා පළ කර ඇති දැන්වීම් ප්‍රමාණය 19,717 කි.

මෙම අපේක්ෂකයන් අතරින් වැඩිම ෆේස්බුක් දැන්වීම් ප්‍රමාණයක් පළ කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු මේ දක්වා ඩොලර් 13,152 ක එනම් රුපියල් විසිහතර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය හැත්තෑ හයක දැන්වීම් පළ කර තිබේ.

දෙවැනි වැඩිම වියදමක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට පිවිස සිටින අන්ගජන් රාමනාතන් මහතාය. ඔහුගේ වියදම ඩොලර් 11,319 ක් එනම් රුපියල් විසි එක් ලක්ෂ විසි හත්දහස් නවසිය හැත්තෑ දෙකකි.

තෙවැනි ස්ථානයේ පසුවන කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා ඩොලර් 9,677 ක් එනම් රුපියල් දහඅට ලක්ෂ දහනම දහස් දෙසීය  හැත්තෑහයක් වියදම් කර ඇත.

මීට අමතරව, වර්නන් ගුණරත්න, හර්ෂ ද සිල්වා, සුනේත්‍රා සමරකෝන්, විජේදාස රාජපක්ෂ, රාජපුත්‍ර වීරසිංහ, නිපුන රණවක සහ අනුර ප්‍රනාන්දු යන අපේක්ෂකයන් ෆේස්බුක් හරහා වැඩිම වියදමක් දරමින් සිය දැන්වීම් ප්‍රචාරය කළ මුල් අපේක්ෂකයන් 10 දෙනා අතර සිටියි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ක්‍රියාත්මක සමාජ දුරස්තකරණ නීති හේතුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ව්‍යපාරය පැවැත්වීමේ වැඩි ඉඩක් නොමැති වීමත්, ෆේස්බුක් හරහා වැඩි ජනතාවකට එකවර ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් ලැබීම මෙන්ම සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණයට වඩා වියදම් අඩුවීම යන කාරණා නිසා බොහෝ අපේක්ෂකයන් ෆේස්බුක් වෙත යොමු වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

කෙසේ වෙතත් මෙලෙස ෆේස්බුක් වෙබ් අඩවිය තුළ දැන්වීම් පළ කිරීම හරහා  ඉතාමත් කෙටි කලකදී ඩොලර් 303,610 ක විදේශ විනිමයක් රටින් පිටවී ඇතැයිද ඇතැම් පිරිස් චෝදනා කරයි. එම මුදල මෙරට ප්‍රචාරණ ක්ෂේත්‍රය තුළ බෙදී යාමට තිබූ මුදල් බවද ඔවුන් පෙන්වා දෙයි.

Visits: 83