පීසී ෆාර්මා පීඑල්සී CSE ලැයිස්ගුත කිරීමෙන් ඉවතට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් ලෙස පැවැති පීසී ෆාර්මා පීඑල්සී සමාගම 2020 ජූලි 29 වැනිදා සිට එනම් අද දිනයේ සිට එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව කොටස් වෙළෙඳපොළ නිවේදනයක් මගින් සඳහන් කරයි.

2001 දෙසැම්බර් 18 අංක 1215/2 දිනැති ගැසට් නිවේදනයේ ප්‍රසිද්ධියට පත් කෙරුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ 1987 (සංශෝධිත) අංක 36 දරණ පනත යටතේ වගන්ති අංක 53 හි ඇතුළත් රෙගුලාසි 4 (2) යටතේ මෙම ඉවත් කිරීම සිදුව ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

මෙරටට ඖෂධ වර්ග, වෛද්‍ය උපාංග ඇතුළුව විශේෂිත වෛද්‍ය නිෂ්පාදන ඇතුළු දෑ ආනයනය සහ බෙදා හැරීමේ නිරත සමාගමක් ලෙස පීසී ෆාර්මා පීඑල්සී කටයුතු කරයි. එහි පීසීඑච් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි මවු සමාගම වෙයි.

2014 වසරේ සිටම පීසී ෆාර්මා සමාගම තුළ ගැටලු තිබූ අතර, එක් අවස්ථාවකදී ආයෝජකයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එහි කොටස් 31% ප්‍රමාණයක් අලෙවි කිරීමට ඇඩම්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සමාගම ගත් උත්සාහයක් නැවැත්වීමටද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු යොදා තිබුණි.

එසේම 2015 වසරේ ජනවාරි මාසයේදී පීසී ෆාර්මා සමාගමේ කොටස් ගනුදෙනු සියල්ල අත්හිටුවීමටද කොළඹ කොටස් වෙළෙඳපොළ බලධාරීන් මුල්වරට කටයුතු යොදා තිබුණි. සිය ලැයිස්තුගත සමාගමක් ලෙස පීසී ෆාර්මා පීඑල්සී සමාගම මගින් ඉදිරිපත් කළ යුතුව ඇති අතුරු මූල්‍ය වාර්තා සහ වාර්ෂික මූල්‍ය වාර්තා නිසි කලට ඉදිරිපත් නොකිරීම ඊට හේතුව වී තිබුණි.

Visits: 180