මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු.මිලියන 11,059 ක මුදල් අවභාවිතාවක්

පසුගිය රජය සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,059ක බරපතළ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව එම අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව මගින් අද අනාවරණය කෙරිණි. පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අද දිනයේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීම සිදු විය.

මෙම 2016 වසරේ සිට 2019වසර දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ මෙම අක්‍රමිකතා සහ අවභාවිතයන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස මෙම කමිටුව පත් කර තිබුණි.

ඒ අනුව එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් වූ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් මෙම වාර්තාව සකස් කර තිබේ.

වාර්තාවේ සඳහන් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක මුදලක් ගෙවීම, නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීමෙන් හා තැන්පත් පොලී ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2,608ක අලාභයක් සිදු වීම, පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීතිවිරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් මිලියන 2,266ක් වැය කිරීම, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස රුපියල් මිලියන 2,316ක් ලබාදීම, නීත්‍යනුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් අවභාවිතා කිරීම, සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී රුපියල් මිලියන 48ක අලාභයක් සිදු වීම, ‘අපේ ගම’ ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී රුපියල් මිලියන 08ක අලාභයක් සිදුවීම යනාදී මුදල් අවභාවිතාවන් මෙම කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව මෙම සමස්ත මුදල් අවභාවිතාවේ වටිනාකම රුපියල් මිලියන 11,059 කි.

මීට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් නීතිවිරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති බවත්, එසේම පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇති බවත් මෙම කමිටු වාර්තාව පෙන්වා දී තිබේ.

එසේම මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති බවත්, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම්,විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවීම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

මීට අමතරව 2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019.11.15 වැනිදා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් කැඳවා ඇති බවත්, එයට සාමාජිකයින් 5දෙනෙකු සහභාගි වී ඇති නමුත්, සහභාගි නොවුණු අන් සාමාජිකයන්ගේද අත්සන් ලබාගෙන ඇති බවත් තහවුරු වීඇත. 

ඒ අනුව මෙම අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලු ඇති බවට පෙන්වා දෙන කමිටුව, සාමාජික අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇතැයි අගමැති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Visits: 52