ෆෙඩරල් සංචිත බැංකුව හා ගිවිසුම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව සමග තමන් පසුගියදා ගිවිසුමකට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

‘විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන් සඳහා වූ එක්දින ප්‍රතිමිලදී ගැනුම් පහසුකමක්’ ලෙස මෙම පහසුකම හැඳින්වෙයි. ලොව පුරා මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කරන බව මහ බැංකුව සඳහන් කරයි.

“මෙම පහසුකම මගින් අපගේ දීර්ඝ කාලීන විදේශ විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීමකින් තොරව, අවශ්‍ය අවස්ථාවන්හිදී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුවට ඉඩ සැලසෙයි.” මහ බැංකුව පවසයි.

වත්මන් රජය ශ්‍රී ලංකා මහ බැංකුව හරහා නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට සූදානම් වන බවට දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් දැක්වීම් සහ පුවත්පත් වාර්තා වෙත පිළිතුරු දෙමින් මහ බැංකුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

කොවිඩ්-19 හා බැඳුණු අවිනිශ්චිත තත්ත්වයන්ට මුහුණ දීමේ සැලසුම්වල කොටසක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ගිවිසුම සඳහා එළැඹී තිබේ. එහිදී ඒ සඳහා යොදවා ඇත්තේ ස්වකීය විදේශ විනිමය සංචිතයෙහි ඇතුළත් එක්සත් ජනපද ඩොලර් බිලියනයක් පමණ වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් බව මහ බැංකුව පවසයි.

“මෙමගින් මහ බැංකුවට අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා අරමුදල් සපයා ගැනීමට අවශ්‍ය පහසුකම් හිමි වෙයි. මහ බැංකුව මෙම ප්‍රතිමිලදී ගැනුම් පහසුකම පියවා දැමූ විට ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව මගින් උකස් කළ බැඳුම්කර නැවත අප වෙත නිදහස් කරනු ඇත. එසේම වූ විට ශ්‍රී ලංකා මහ බැංකු සංචිතයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.” මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් මේ සඳහා 0.35%ක පමණ වන වාර්ෂික ප්‍රතිමිලදී ගැනුම් ගාස්තුවක  පිරිවැයක් දැරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වෙයි.

“මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටියද කිසිදු ණය ගැනීමක් තවමත් සිදු කර නැත. ඕනෑම අවස්ථාවකදී අදාළ පහසුකමින් ඉවත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකු අභිමතය යටතේ පවතී.” මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් මහ බැංකුව එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගන්නට යන බවට මාධ්‍යයන්හි පැතිර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යතයක් බවත්, මෙවැනි පහසුකම් ඉතා සාමාන්‍ය, එසේම අවශ්‍ය වූ විට භාවිත කළ හැකි ස්වාධීන මූල්‍ය පහසුකමක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Visits: 46