ලෝක වෙළෙඳ පොළේ රන් මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳ පොළෙහි රත්රන් අවුන්සයක මිල අද (27දා) පෙරවරුව වන විට එක්සත් ජනපද ඩොලර් 1,944 ක් බවට පත් වූ බව වාර්තා පවසයි. ඒ අනුව මෙය ලෝක වෙළෙඳ පොළෙහි මේ දක්වා වාර්තා කළ ඉහළම රත්රන් මිල ලෙස සැලකෙන 2011 වසරේදී සටහන් වූ රන් අවුන්සයකට ඩොලර් 1,921ක වටිනාකම අභිබවා යාමක් බව විදෙස් මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයද ඇතුළුව තවත් රාජ්‍යයන් කිහිපයකදීම යළිත් වරක් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනාවේ දෙවැනි රැලි මේ තත්ත්වය සඳහා හේතු වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව කොරෝනාවේ බලපෑමත් සමගින්ම මේ වසරේ ගෙවුණු මාස හතක කාලය තුළදී මේ දක්වා ලෝක වෙළෙඳ පොළෙහි රත්රන් මිල 27% කින් ඉහළ ගොස් ඇත.

මේ අතර, පවතින තත්ත්වය එලෙසින්ම පැවතියහොත් මේ වසර අවසන් වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 2,000 ආසන්නයට පැමිණිය හැකි බවත් ඇතැමුන් අදහස් පළ කර සිටියි. ලෝක වෙළෙඳ පොළේ රිදී අවුන්සයක් සඳහා වන මිලද එක්සත් ජනපද ඩොලර් 24.21ක් දක්වා ඉහළ නැග තිබුණි.

Visits: 104