සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී විනිවිදභාවයෙන් හත්වැනි තැනට

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය මගින් සකස් කළ නවතම Transparency in Corporate Reporting (TRAC) වාර්තාවට අනුව, සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලින් 7 වන වඩාත් විනිවිදභාවයෙන් යුතු සමාගම මෙන්ම වඩාත් විනිවිදභාවයෙන් යුතු ජීවිත රක්ෂණ සමාගම ලෙස ද ශ්‍රේණිගත කර ඇතැයි එම සමාගම පවසයි.

මෙරට කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් ඇගයීමට ලක් කොට මෙම TRAC වාර්තාව සකස් කර තිබේ. ඒ අනුව TRAC හි ලකුණු 7.9ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 ලැයිස්තුවට පැමිණි එකම රක්ෂණ සමාගම වන්නේ ද සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමය.

ආයතනික වාර්තාකරණයට අදාළ අයථා කටයුතු, සමාගම් හිමිකාරීත්වය පිළිබඳ විනිවිදභාවය සහ අභ්‍යන්තර මෙහෙයුම්වල ප‍්‍රධාන මූල්‍ය තොරතුරු අනාවරණය කිරීම යන විවිධ වූ තේමා තුනක් යටතේ TISL හි මෙම වාර්තාව මගින් සමාගම් ශ්‍රේණිගත කිරීම සිදු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂක, ඉෆ්තිකාර් අහමඞ් මහතා, “අපගේ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති අඛණ්ඩ ක‍්‍රියාමාර්ග උදෙසා TISL ආයතනයේ පළමු ‘ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය’ පිළිබඳ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ හොඳම රක්ෂණ සමාගම ලෙස ශ්‍රේණිගත වීමට ලැබීම අප අතිශයින්ම ගෞරවයක් කොට සලකනවා” යනුවෙන් පවසා සිටියි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ඒ මහතා, “ආයෝජකයින්ගේ සහ අනෙකුත් කොටස්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ප‍්‍රධාන වෙනවා. ඒ වගේම සමාගම් දත්තවලින් වඩ වඩාත් විනිවිදභාවය හා ක‍්‍රියාකාරී අවබෝධය සඳහා වන අයෝජකයින්ගේ උනන්දුව වර්ධනය වන ගෝලීය දත්ත ඉස්මතු කර පෙන්වනවා. එසේම මූල්‍ය ප‍්‍රධානීන්ගේ අදහසට අනුව ආයෝජකයින් තම තීරණ ගැනීමේදී සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීමට සහාය වීම සඳහා මූල්‍ය නොවන තොරතුරුද වැඩියෙන් සලකා බලනවා” යනුවෙන්ද සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් උපරිම ලකුණු 10න් 6.73ක සාමාන්‍යයක් ලබා ගෙන මධ්‍යස්ථ විනිවිදභාවයෙන් යුක්ත බව මෙම වාර්තාවෙන් සොයා ගෙන ඇත. සැලකිය යුතු විනිවිදභාවයක් ලෙස සැලකෙන, 86%ක සාමාන්‍යයක් සහිත ලකුණු ප‍්‍රමාණයක් සමාගම්වල හිමිකාරීත්වය පිළිබඳ වාර්තා කිරීමේදී සමාලෝචනය කරන ලද සමාගම් ලබා ගෙන තිබීම මෙම තක්සේරුකරණයේ ප‍්‍රධාන සොයාගැනීම් අතර වඩාත් දිරිගැන්වෙන සුළු කරුණකි. තවද, ඔවුන්ගේ දේශීය මූල්‍ය වාර්තාකරණයට අදාලව සමාගම් 31ක් පූර්ණ විනිවිදභාවයකින් යුක්ත බව සොයා ගෙන ඇත.

Visits: 60