මැයි හා සාපේක්ෂව ජූනි මාසයේ අපනයන ආදායම 50.4% කින් ඉහළට

2020 ජූනි මාසයේදී මෙරට භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 906.02 ක් වූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව එය පසුගිය මැයි මාසයේදී ලැබූ අපනයන ආදායම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 602.4 ට සාපේක්ෂව 50.4%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගම පසුගිය අප්‍රේල් මාසයේදී  මෙම අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 277.4 ක් විය. ඒ අනුව ජූනි මාසයේදී අපනයන ආදායම එම මාසයට සාපේක්ෂව 327%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

මේ තත්ත්වයත් සමගම එය මෙරට අපනයනයන් පෙර තිබූ ස්ථානය දක්වා ඉතා සාර්ථක පොළා පැනීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා සඳහන් කර සිටියි. ඒ හරහා රටෙහි වෙළෙඳ ශේෂය තවදුරටත් ලං කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි.

ප්‍රභාෂ් සුභසිංහ

“අපනයනය මේ මොහොතේදී ජාතික ප්‍රමුඛතාව බවට පත්ව තිබෙනවා. අද වන විට පෙර කවරදාකටත් වඩා මෙම අපනයන ක්ෂේත්‍රයේ V හැඩයේ ආපසු නැගී සිටීමක් පෙන්නුම් කර තිබෙනවා. එය අප්‍රේල් මාසයේදී පෙන්නුම් කළ අවම අගය හා සැසඳීමේදී 327%ක වර්ධනයක්. මේ අවස්ථාවේදී ජාතික ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් සිය සේවාව සැලසීම සම්බන්ධව මෙරට සමස්ත අපනයනකරුවන් වෙතම ස්තූතිය පුද කරන්න කැමතියි. ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය විදියට අපනයනකරුවන් වෙත තවදුරටත් සේවා සැලසීමටත් අප සූදානමින් සිටිනවා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියි.

කෙසේ වෙතත් පසුගිය 2019 වසරේ ජූනි මාසයේදී උපයා ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,084.01 ට  සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී භාණ්ඩ අපනයනය හරහා උපයා ගෙන ඇති ආදායම 16.42% කින් පහත බැස තිබේ.

මෙහිදී 2020 ජූනි මාසයේදී වැඩිම අපනයන ආදායමක් හිමි කර දී ඇත්තේ සුපුරුදු ලෙස ඇගලුම් හා රෙදිපිලි කර්මාන්තයයි. එය ඩොලර් මිලියන 402.04 කි. එහෙත් එය පසුගිය 2019 වසරේ ජූනි මාසයේදී ලබා දුන් ඩොලර් මිලියන 503.91 ක ආදායම හා සැසඳීමේදී 20.22%ක අඩුවීමකි.

එසේම දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය හරහා 2020 ජූනි මාසයේදී ලැබුණු ආදායම ඩොලර් මිලියන 10.13 කි. එහෙත් එය පසුගිය 2019 වසරේ ජූනි මාසයේදී ලැබූ ඩොලර් මිලියන 23.28ට සාපේක්ෂව 56.49%ක අඩුවීමකි. මීට අමතරව පාවහන් සහ හම් නිෂ්පාදන, මූලික ලෝක නිෂ්පාදන, රබර් සහ රබර් පාදක නිෂ්පාදන, කැපූ මල් නිෂ්පාදන යනාදියද පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී ආදායම් අඩුවීමක් පෙන්නුම් කර ඇත.

එහෙත් පොල් සහ පොල් පාදක නිෂ්පාදන සහ කුළු බඩු නිෂ්පාදන අපනයනය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අතරින් පොල් සහ පොල් පාදක නිෂ්පාදන හරහා මේ වසරේ ජූනි මාසයේදී ලැබූ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 65.01 කි. එය පසුගිය වසරේ එම මාසයේදී ලැබූ ඩොලර් මිලියන 54.53ට සාපේක්ෂව 19.22%ක වර්ධනයකි. එසේම කුළු බඩු නිෂ්පාදන මේ වසරේ වසරේ ජූනි මාසයේදී ඩොලර් මිලියන 31.71ක් උපයා ඇති අතර එය පසුගිය වසරේ ජූනි මාසයේදී ඉපැයූ ඩොලර් මිලියන 24.40ට සාපේක්ෂව 29.96%ක වර්ධනයකි.

මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය හරහා මේ වසරේ ජූනි මාසයේ ඩොලර් මිලියන 26.30 ක ආදායමක් ලැබී ඇති අතර, එය පසුගිය වසරේ ජූනි මාසයේදී ලැබූ ඩොලර් මිලියන 22.50ට සාපේක්ෂව 16.89%ක වර්ධනයකි. එසේම පළතුරු, රටකජු සහ එළවලු වර්ග අපනයනයෙන් මේ වසරේ ජූනි මාසයේ ලැබූ ආදායම ඩොලර් මිලියන 6.72 ක් වන අතර එය පසුගිය වසරේ ජූනි මාසයේ  ලැබූ ඩොලර් මිලියන 5.57ට සාපේක්ෂව 20.68% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

තත්ත්වය මෙසේ පවතිද්දී මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා මාස හයක කාලය තුළදී මෙරට උපයා ගෙන ඇති සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,362.34 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ඉපැයූ ඩොලර් මිලියන 5,929.74 ට සාපේක්ෂව 26.43%ක අඩුවීමකි.

එසේම මෙය නව කොරෝනා වසංගතයේ බලපෑම නිසා 2020 වසරේ මෙරට අපනයන ආදායම් ඉලක්කයේ සංශෝධිත අගය වන එක්සත් ජනපද ඩොලර් මිලියන 7,521 න් 58%ක ප්‍රතිශතයක් පූර්ණය කිරීමක් හා සමාන බවද අපනයන සංවර්ධන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 185