මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ 85%කම ආධිපත්‍ය ප්‍රධාන සමාගම් 16ක් අතරලු!

බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ 85%කම වෙළෙඳ පොළ ආධිපත්‍යය ප්‍රධාන සමාගම් 16ක් අතර පවතින බවත්, එම සමාගම් සතු සම්පූර්ණ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 20 ඉක්මවන බවත් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) සඳහන් කරයි. ඒ අනුව ඉතිරි 15%ක වෙළෙඳ පොළ කොටස සෙසු සමාගම් 23ක් අතර බෙදී යන බවත් එම සංගමය පෙන්වා දෙයි.

එම සංගමය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62ක් පුරා දැක් වූ දායකත්වය සැමරීම වෙනුවෙන් පසුගියදා කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කෙරිණි.

දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ කළ මෙම සංගමය අද වන විට රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා විශාල කැපකිරීමක් සිදු කරන බවද එම සංගමය සඳහන් කරයි.

“බලපත්‍රලාභී නොවන, කිසිඳු නියාමනයක් නොමැති බැංකු නො වන මූල්‍ය ආයතන මගින් රටේ මූල්‍ය පද්ධතියට වන දැඩි හානිය වළක්වා ගැනීම සහ මහජනතාවට බියෙන් සැකෙන් තොර සිය ආයෝජනයන් හා වෙනත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම” මෙම සංගමයේ ප්‍රධාන අරමුණ බවත් පවසයි.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය පවසන ආකාරයට දැනට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ ලැයිස්තුගත සමාගම් 31ක් සහ ලැයිස්තුගත නොකළ සමාගම් 8ක් පවතී. මෙම බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රධාන වශයෙන්ම අරමුදල් ගලා ඒම ප්‍රධාන මූලාශ්‍රයන් තුනක් හරහා සිදු වෙයි.

ඉන් පළමු වන්න වන මහජනතාවගේ තැන්පතු හරහා එය 50%ත් 55%ත් අතර ප්‍රතිශතයකි. එසේම ණය ගැනීම් හරහා 25% ත් 30%ත් අතර අරමුදල් ප්‍රතිශතයක් ගලා එයි. මීට අමතරව කොටස් හිමියන්ගේ ප්‍රාග්ධන මුදල් සම්භාරය හරහාද 8%ත් 12%ත් අතර අරමුදල් සැපයීමක් සිදු වෙයි.

“ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බැංකු නොවන මූල්‍ය අංශය වර්ෂ 2013 හි රුපියල් බිලියන 622ක සමස්ථ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ලදී. ඉන් වසර හයකට පසු සමස්ථ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 1.390ක් දක්වා වර්ධනය විය. මෙම කාල වකවානුව තුළ බලපත්‍රලාභී මුල්‍ය ආයතන විසින් සපයන ලද සමස්ථ ණය ප්‍රමාණය බිලියන 471 සිට ට්‍රිලියන 1.066 ක් දක්වා වර්ධනය වීම ඉතා සුවිශේෂී වේ” සංගමය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, අවුරුදු 60ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රය අද වන විට මිලියන 7කට අධික පාරිභෝගිකයින් සඳහා සේවා සපයන බවත්, මින් 57%-60% ප්‍රමාණයක් ණය ගණුදෙනුකරුවන් වන අතර 40-43% ප්‍රමාණයක් තැන්පත්කරුවන් වන බවත් සඳහන් වෙයි.  මීට අමතරව රටේ මානව සම්පත් වර්ධනය කිරීම උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන මෙම ක්ෂේත්‍රය අද වන විට 32,000 කට අධික සේවකයින් සඳහා රැකියා අවස්ථා සපයා ඇතැයිද පවසයි.

“අද වන 1350කට අධික ශාඛා ජාලයක් මෙම බැංකු නොවන මූල්‍ය පද්ධතිය විසින් මෙහෙයවනු ලබනවා. ඒ වගේම පසුගිය මූල්‍ය වර්ෂය තුළදී මෙම සමාගම් හරහා රටේ ආරථිකය පණ ගැන්වීම උදෙසා රුපියල් බිලියන 16ක් ඍජු බදු ලෙස රජයට ගෙවා තිබෙනවා.” සංගමය සඳහන් කරයි.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති එම සංගමය, තව දුරටත් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයකු ලෙස ක්‍රියාකරමින් විධිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මහජනතාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරන බව පවසා ඇත. එසේම මෙහිදී ආචාරධර්මානුකූල, විධිමත් හා කාලෝචිත මූල්‍ය ප්‍රතිපත්ති වල වැදගත්කම ඔවුන් විසින් අවධාරණය කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ (FHA) වර්තමාන සභාපති ආර් එච් අබේගුණවර්ධණ මහතා,  “බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයා ලෙසින් කටයුතු කරන FHA නිරතුරුවම උත්සහ කරනුයේ සියළුම ශ්‍රී ලාංකිකයින්ට ඉතා පහසුවෙන් සහ විශ්වාසදායී ලෙස සිය ගණුදෙනු සිදුකල හැකි විධිමත් මූල්‍ය පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි.  රටේ ආර්ථිකය සඳහා කැපී පෙනන දායකත්වයක් සපයමින්, ඒක පුද්ගල අදායම වර්ධනය කිරීම උදෙසා ව්‍යවසායකයින්,  කුඩා ව්‍යාපාරිකයින් ඇතුළු දහස් ගණනක් ජනතාව වෙත විධිමත් ලෙස සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විශාල අවකාශයක් බලපත්‍රලාභී  මුල්‍ය ආයතන අද වන විට සපයනවා.” යනුවෙන් පවසා සිටියි.

මෑතකදී සිදුවුණු නියාමනය නොකරන ලද මූල්‍ය සමාගම්වල ඇතැම් අවිධිමත් සහ වංචනික ක්‍රියාවන් මගින් මහජනතාව ගැටළු රාශියකට මුහුණ පෑ බව සත්‍යයක් බව පවසන එම සංගමය  මේ තුළින් නියාමනය කරන ලද මූල්‍ය සමාගම් පිළිබඳවද මහජනතාව අතර දැඩි කනස්සලක් හටගෙන, ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීමකටද ලක්ව ඇතැයි පවසයි. ඒ අනුව ඉදිරියේදී මූල්‍ය සමාගම් විධිමත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව පැහැදිළි යැයිද ඔවුන් පෙන්වා දෙයි..

ඒ අනුව ඉතාමත් ඉක්මනින් යෝජිත මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය  පනත (Moneylending and Microfinancing act)  බලාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙස  එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ඒ හරහා එම පනත යටතේ ලියාපදිංචි නොවන කිසිඳු ආයතනයකට මහජනතාවට මූල්‍ය පහසුකම් ලබා දීමට නොහැකි වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම රට තුළ ක්‍රියාත්මක වන අනවසර මූල්‍ය ආයතන පිළිබඳව විමර්ශනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් ඇති කිරීම, බැංකු නොවන මූල්‍ය පද්ධතිය සඳහා විධිමත් මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිතකර ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රමිතීන් හඳුන්වා දීම, ආර්ථිකයට  සහ ප්‍රජාවන් සවිබල ගැන්වෙන නීතිමය රාමු ඇති කිරීමටද FHA සහයෝගය ලබා දීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය අවසන් වශයෙන් සඳහන් කරයි.

Visits: 671