බ්‍රැන්ඩික්ස් ලේ දන් දීමෙනුත් මුල් තැනට එයි

බ්‍රැන්ඩික්ස් සමාගම අඛණ්ඩව 10 වන වරටත් මෙරට පුද්ගලික අංශයේ විශාලතම ලේ දන් දෙන ආයතනය ලෙස ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) මගින් ඇගයුමට ලක් කර තිබේ. 2019/20 කාලය තුළ එම සමූහයේ සාමාජික-සාමාජිකාවන් විසින් රුධිරය පයින්ට් 3,500 කට අධික ප්‍රමාණයක් ලබා දී ඇත. පසුගියදා පැවැති ලෝක ලේ දන් දීමේ දිනයේදී සමාගම මෙම ඇගයුමට පත්ව තිබේ. 

එම සුවිශේෂී දායකත්වය ඇගයුමට ලක් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන් විසින් බ්‍රැන්ඩික්ස් සමාගමට විශේෂ ඇගයුම් ඵලකයක් පිරිනැමූ අතර එම සමාගම වෙනුවෙන් එහි මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ සාමන්‍යාධිකාරී සුජිත් ජයසේකර මහතා එය පිළිගත්තේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන මහතා, “සෑම වසරකම මෙරට ජාතික ලේ දන් දීමේ කර්තව්‍යයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දීමට අපට හැකි වී තිබෙන්නේ අප සහ ජාතික රුධිර පාරවිලයන සේවය අතර ඇති දිගුකාලීන සබඳතාව නිසයි. අඛණ්ඩව 10 වන වරටත් මෙරට ආයතනික ක්ෂේත්‍රයේ විශාලතම ලේ දන් දෙන්නා බවට පත් වීමට හැකි වීම අප ගෞරවයක් සේ සලකනවා. පරාර්ථකාමී චින්තනයෙන් යුතුව සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් කටයුතු කරන සැබෑ ප්‍රබෝධමත් පිරිසකගෙන් සැදුම්ලත් පවුලක් අප සතු බව මෙමඟින් තවදුරටත් පිළිබිඹු වනවා. ඔවුන් සමඟ කටයුතු කිරීමට ලැබීම අප ගෞරවයක් සේ සලකනවා,” යනුවෙන් සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින්, ජාතික රුධිර පාරවිලයන සේවයේ ඉල්ලුම සපුරාලීම සඳහා අඛණ්ඩව මෙවැනි පරිත්‍යාග සිදු වීම අත්‍යවශ්‍ය බව පවසා ඇත.

“බ්‍රැන්ඩික්ස් සමූහය මෙරට විවිධ පළාත් තුළ ව්‍යාප්තව ඇති බැවින් දිවයින පුරා බොහෝ ප්‍රදේශයන්හි රුධිර සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීමට  ජාතික රුධිර පාරවිලයන සේවයට හැකි වී තිබෙනවා. වසර 10 ක් පුරා මෙම සද්කාර්යයට සම්බන්ධ වුණු බ්‍රැන්ඩික්ස් සමාගමට සිය ස්තූතිය පළ කරන අතර එම සමාගමෙන් ඉදිරියේදී ද මෙම දායකත්වය බලාපොරොත්තු වනවා,” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

බ්‍රැන්ඩික්ස් ලේ දන් දීමේ වැඩසටහන යනු ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ අත්වැල් බැඳ ගනිමින් වාර්ෂිකව දියත් කෙරෙන වැඩසටහනක්වන අතර වසර 13 ක් පුරා එම සබඳතාව යටතේ බ්‍රැන්ඩික්ස් සමාගම මේවන විට ලබා දී ඇති රුධිරය ප්‍රමාණය පයින්ට් 36,000 ඉක්මවයි.

ශීඝ්‍රයෙන් වර්ධනය වන, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිරය ලබා ගැනීමේ ඉල්ලුම සපුරාලීම සඳහා සති අන්ත වෙනුවට සතියේ දිනවල මෙම වැඩසටහන් දියත් කිරීමට බ්‍රැන්ඩික්ස් සමාගම පියවර ගෙන ඇත. එමගින්, දින පහක ජීව කාලයක් ඇති රුධිර පට්ටිකාවල කල් ඉකුත් වීමට පෙර එම සතිය තුළදී ම ප්‍රයෝජනයට ගැනීමට හැකිවන බවත් බ්‍රැන්ඩික්ස් සමාගම සඳහන් කරයි.

Visits: 27