චිත්‍රපට නිෂ්පාදකගේ මූල්‍ය සමාගමට මහබැංකුවෙන් මුද්‍රා

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රදේශයට අයත් දෙමටළුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් නීතිවිරෝධී මූල්‍ය ආයතනයකට මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ විමර්ශන ඒකකය කටයුතු යෙදූ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවී ව්‍යාපාරික ආයතනයක් ලෙස සමාගම් මැදුරේ පමණක් ලියාපදිංචිවී ඇති මෙම මූල්‍ය ආයතනය, තැන්පතු මුදල් සඳහා ඉහළ පොලියක් ලබාදෙන බව ප්‍රසිද්ධ කරමින් රුපියල් කෝටි දහසකට අධික මුදල් තැන්පතු ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

එම මුදල්වලින් තැන්පතුකරුවන්ට මාසිකව පොලී මුදල් ගෙවීමට අමතරව, එම මුදල් නිවාස සංකීර්ණ ඉදිකිරීම්, රථවාහන අලෙවිය, චිත්‍රපට නිෂ්පාදනය, රථවාහන කුලියට ලබාදීම ආදි ව්‍යාපාර රැසක් වෙතම ආයෝජනය කිරීමටද කටයුතු යොදා ඇතැයි අනාවරණය වී ඇත.

එහිදී ඉයෝන් යන නමින් මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමත් විශේෂත්වයකි. පසුගිය වසරේදී තිරගත වුණු එහෙත් පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා තිරගතවීම අත්හිටවුණු ‘වැලිපවුර’ සිනමා පටයේ නිෂ්පාදකයා වන්නේද මෙම මූල්‍ය සමාගමේ හිමිකරුවාය. එම චිත්‍රපට නිෂ්පාදන සමාගම ඉයෝන් ෆිල්ම්ස් පෞද්ගලික සමාගම ලෙස හැඳින්වෙයි. ඊට අමතරව ඉයෝන් එන්ටර්ටේන්මන්ට්, ඉයෝන් ප්‍රඩක්ෂන් තවත් සමාගම් සන්නාම කිහිපයකි.

ජනතාවගෙන් ලබා ගත් මුදල් වෙනත් ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම සහ පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්  සැලකිය යුතු කාලසීමාවක් එම ව්‍යාපාර ඇණහිටීමත් සමග මෙම ව්‍යාපාරිකයා මේ වනවිට බංකොළොත්භාවයට පත්ව ඇතැයි පැවසෙයි. එහිදී ඔහු සතු බැංකු ගිණුම්වල තැම්පතුකරුවන්ට ආපසු ගෙවීමට තරම් ප්‍රමාණවත් මුදලක් නොමැති බවද පරීක්ෂණ කටයුතු මෙහෙයවන මහ බැංකුවේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර ඇති 2011 වසරේ අංක 42 දරන මුදල් නීති පනත යටතේ මෙම නීතිවිරෝධී ව්‍යාපාරය පවත්වාගෙන ගිය පුද්ගලයා වරදක් කර ඇති බැවින් ඔහුට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද පැවසෙයි.

ඒ අනුව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නමැති මෙම මූල්‍ය ආයතනයේ සියලු ව්‍යාපාරික කටයුතු මේ වනවිට මහ බැංකුව මගින් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙන අතර ව්‍යාපාරිකයා පවත්වාගෙන ගිය සියලුම බැංකු ගිණුම් තහනම් කිරීමටද මහ බැංකුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම කරනු ලබන දැනුම්වත් කිරීම් නොසලකා හරිමින් වැඩි පොලියක් අපේක්ෂාවෙන් මෙම නීතිවිරෝධී මූල්‍ය ආයතනය සමග ගනුදෙනු කළ පුද්ගලයන්ගේ මුදල්වලට මහ බැංකුව වග නොකියන බවද තම මුදල් තැන්පතු ආපසු ලබාගැනීම සඳහා ඔවුන්ට අධිකරණමය ක්‍රියාමාර්ගයකට යායුතු වන බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 157