කොරෝනා බිය තුනීවීමත් සමග දෛනික පිරිවැටුමේ සුළු ඉහළ යාමක්

රට තුළ පවතින නව කොරෝනා ව්‍යාප්තියේ දෙවැනි රැල්ල පාලනය කිරීම සම්බන්ධයෙන් රජය දැක්වූ විශ්වාසනීයත්වයත් සමග අද (2020 ජූලි 16) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඊයේ (2020 ජූලි 15) දිනයට සාපේක්ෂව යම් ඉහළ ඒමක් පෙන්නුම් කළ බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව සමස්ත පිරිවැටුමේ යම් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4,918.71 ත් ඒකක 4,964.62 ත් අතර විචලනයක් පෙන්වීය. දිනය නිමා වනවිට එය ඒකක 4,953.54ක් බවට පත්විය. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව එය ඒකක 36.85 ක් එනම් 0.75%ක ඉහළ යාමකි.

මෙහිදී කොමර්ෂල් බැංකුව මගින් පෙර කළ සාකච්ඡාවක එකඟතාවකට පැමිණ සිදු කළ ගනුදෙනු දෙකක් සමස්ත පිරිවැටුම සඳහා 12%ක දායකත්වයක් සැපයීය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම 116ක මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 29 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයුම් සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+6.78), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+4.07), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+2.95), ලංකා ඔරික්ස් ලීසිං පීඑල්සී LOLC (+2.85), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (+2.02), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.89), ලයන් බෘවරි පීඑල්සී LION (-3.17), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.09), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.37) සහ එල්වීඑල් එනර්ජි ෆන්ඩ් පීඑල්සී VEF (-1.00) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,126.63 ක අගයක් ගත් අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 30.68 ක එනම් 1.46 %ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 568 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේදී වාර්තා කළ රුපියල් මිලියන 464 ට සාපේක්ෂව 22%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.31 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 18.87%ක අහිමිවීමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 81.22ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 204.7ක අගයක් ගෙන තිබේ. එසේම දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 123.48 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 22.54ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බයිරහ ෆාම්ස් පීඑල්සී සමාගම විසින් ලබා දී ඇති අතර, විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 1 කි. එසේම කොමර්ෂල් බැංකුව පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 42.4 ක් ලෙස සටහන්ව ඇත.

දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 292 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 51%ක අගයක් ගෙන තිබේ. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන භාණ්ඩ එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් රුපියල් මිලියන 70 ක සහ රුපියල් මිලියන 53ක දායකත්වයක් ලබා දී ඇත.

Visits: 216