යුරෝපා සංගම් අරමුදල් SME ව්‍යාපාර සහ සංචාරක නිෂ්පාදන සංවර්ධනයට

මෙරට සංචාරක ක්ෂේත්‍රයට කොවිඩ් -19 අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීම සඳහා යුරෝපා සංගමය විසින් පිරිනමන ලද යුරෝ මිලියන 3.5ක ප්‍රදානය වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරිය කොළඹ යුරෝපා සංගම් කාර්යාලය සමඟ සාකච්ඡා කර ඇතැයි එම අධිකාරිය පවසයි.  

මෙහිදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් මුළු ප්‍රදානය යුරෝ මිලියන 22 ක් වන අතර, එය මූලික වශයෙන් කෘෂිකර්මාන්තයට හා ගොවීන්ට ආධාර කිරීම සඳහා වෙන් කර ඇත. එසේම සංචාරක අංශය සඳහා යුරෝ මිලියන 3.5 ක් වෙන් කර තිබේ.

මෙලෙස සංචාරක අංශය සඳහා වෙන් කර ඇති මුදල පිළිබඳව ප්‍රධාන අවධානය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සමස්ථ ආදායම ඉහළ නැංවීමට සහ සමාජයේ පුළුල් කොටසකට ප්‍රතිලාභ සැලසෙන සංචාරක ආදායම වර්ධනය කිරීම බව අධිකාරියේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

මේ අතර, යුරෝපා සංගමය එම මුදල් මුදල යුරෝ මිලියන 4දක්වා වැඩි කිරීමට සලකා බලමින් සිටින බවත්, මේ සදහා ප්‍රධාන කාර්යාලයෙන් අවසන් අවසරය බලාපොරොත්තුවෙන් සිටින බවත් එම අධිකාරිය සඳහන් කරයි.

යුරෝපා සංගමය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සුවතා අංශය සඳහා අඛණ්ඩ සංවර්ධන වැඩසටහන් පවත්වා ඇති අතර මෙම ප්‍රදානයේ උපයෝගීතා නිර්ණායක අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහය,සුවතා සංචාරක අංශ,ආයුර්වේද සහ හෙළ වෙදකම යනාදිය සංවර්ධනයද ඇතුළත් වේ.

ඒ අනුව පහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට  සංචාරක සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ.

1. කුඩා හා මධ්‍යම හෝටල් සඳහා එක් වර මුදල් දීමනාවක් ලබා දීම.
2. මෘදු කුසලතා, සනීපාරක්ෂක ප්‍රමිතීන්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ සේවකයින් පුහුණු කිරීම.
3. කුඩා පරිමාණ ප්‍රදාන වැඩසටහනක් තුළින් සොබාදහම සහ ප්‍රජා පාදක නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා නිවාස නවාතැන් (homestays) සමඟ වැඩසටහන් පැවැත්වීම.
4. සුවතා අංශය – ආයුර්වේදය සහ හෙළ වෙදකම කේන්ද්‍ර කර ගනිමින් නිෂ්පාදන සංවර්ධනය,වෙළඳ නාමකරණය,අලෙවිකරණය සහ සුවතා නිකේතන සහතික කිරීම.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ තිරසාර සංවර්ධන අරමුණු සඳහා සුවතා සංචාරක අංශයට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බවත්, සුවතා සංචාරක අංශය ගෝලීය වශයෙන් වේගයෙන් වර්ධනය වන අංශයක් වන බැවින් මෙම ප්‍රදේශය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අප හට ඉහළ ලාභාංශ ලැබෙනු ඇති බව අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මියද පවසයි.

Visits: 97