කොටස් වෙළෙඳ පොළ මැයි 11 ට පසු අඩුම පිරිවැටුම වාර්තා කරයි

රට තුළ පවතින නව කොරෝනා ව්‍යාප්තියේ දෙවැනි රැල්ලත් සමගම අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු යම් පසුබැසීමක් පෙන්නුම් කළ බව වාර්තා වෙයි. ඒ අනුව අද දිනයේදී වාර්තා කළ සමස්ත පිරිවැටුම පසුගිය මැයි 11 වැනිදායින් පසුව වාර්තා කළ අඩුම අගය බවටත් පත්ව තිබේ.

විශේෂයෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින අස්ථාවර හැඟීම වෙළෙඳ පොළ ගනුදෙනු තුළ මෙවැනි වාතාවරණයක් ඇති වීමට හේතු වී තිබේ.

අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4,892.25 ත් ඒකක 4,948.67 ත් අතර විචලනයක් පෙන්වීය. දිනය නිමා වනවිට එය ඒකක 4,916.69ක් බවට පත්විය. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව එය ඒකක 30.42 ක් එනම් 0.61%ක අවප්‍රමාණය වීමකි.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම 41ක මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 108 ක ගනුදෙනු පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයුම් සමාගම් වූයේ නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+9.23), යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (+1.24), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+1.03), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL(+0.66), එල්.වී.එල්. එනර්ජි ෆන්ඩ්ස් පීඑල්සී LVEF.X (+0.62),සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී SINS (-12.76), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-3.66), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH(-2.82), පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී PLC (-1.39), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.37)යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,095.95 ක අගයක් ගත් අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 17.56 ක එනම් 0.83%ක අවප්‍රමාණය වීමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 464 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.86ට සාපේක්ෂව 75%ක අඩුවීමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.30 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.48%ක අහිමිවීමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 60.24ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 90.56ක අගයක් ගෙන තිබේ. එසේම දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 30.32 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 22.42ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විසින් ලබා දී ඇති අතර, විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.52 කි. එසේම හැටන් නැෂනල් බැංකුව පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 24.48 ක් ලෙස සටහන්ව ඇත.

දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 220 ක් සඳහා බැංකු ක්ෂේත්‍රය දායකත්වය ලබා දී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 47% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය ක්ෂේත්‍රය එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් රුපියල් මිලියන 95 ක සහ රුපියල් මිලියන 60ක දායකත්වයක් ලබා දී ඇත.

Visits: 340