ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට රුපියල් කෝටි 517ක රක්ෂණ වන්දි

අර්බුදයට පත්ව බලපත්‍රය අහෝසි කෙරුණු ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම යටතේ මේ දක්වා රුපියල් කෝටි 517කට ආසන්න මුදලක් (රුපියල් 5,175,336,249.68ක) ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ 2020 ජූනි 07 වැනි දින සිට මෙම ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීම සිදු වෙයි.

මේ දක්වා එම ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000 කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මුදල් වෙන් කර දී ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 ජූලි 12 වන විට තැන්පත්කරුවන් 19,279 දෙනෙකු මහජන බැංකුව හරහා තමන්ට හිමි රක්ෂණ මුදල් ලබා ගෙන ඇතැයිද මෙහිදී අනාවරණය වී තිබේ.

මේ අතර සැලකිය යුතු තැන්පත්කරුවන් ප්‍රමාණයක් තවමත් තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම සඳහා පැමිණ නොමැති බැවින් මහජන බැකුව වෙත පැමිණ එම මුදල් ලබා ගෙන්නා ලෙස ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය මගින් තහවුරු කරන ලද සියලුම තැන්පත්කරුවන්ගෙන් මහ බැංකුව මෙහිදී ඉල්ලා සිටියි.

මෙහිදී මහජන බැංකුවේ දුරකතන අංක 0112-481594, 0112-481320, 0112-481617, 0112-481703 හරහා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ දුරකතන අංක 0112-398788, 0112-477261 යන අංක හරහා ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

Visits: 31