නේෂන් ලංකා ඉක්වටීස් වෙත යළිත් CSE හි ගනුදෙනු අවස්ථාව

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කිරීම අත්හිටුවා තිබූ සීමාසහිත නේෂන් ලංකා ඉක්වටීස් (පෞද්) සමාගමේ කොටස් තැරැව්කාර මෙහෙයුම් යළිත් ආරම්භ කිරීමේ අවස්ථාව ලබාදීමට කොටස් වෙළෙඳ පොළ නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඊට අදාළව නේෂන් ලංකා ඉක්වටීස් හි කොටස් තැරැව්කාර බලපත්‍රයද නැවත ලබාදීමට තීරණය වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ගනුදෙනු සිදු කිරීම සඳහා අවශ්‍ය අවම ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරාලීමට අපොහොසත්වීමත් සමගම එහි රෙගුලාසි වෙත දිගින් දිගටම අනුකූලතාවක් නොදැක්වීම හේතුවෙන් 2017 ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නේෂන් ලංකා ඉක්වටීස් සමාගමේ ගනුදෙනු කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණි.

ඒ අනුව සමාගමත් සමගින් සිටින ගනුදෙනුකරුවන්ට සිය සුරැකුම්පත් ඇතුළු අරමුදල් වෙනත් කොටස්තැරැව්කාර සමාගමක් තුළ හෝ ඔවුන් කැමති භාරකාර බැංකුවක් තුළ තැන්පත් කරන ලෙසද සඳහන් කර තිබුණි.

මේ අතර, 2018 අප්‍රේල් 24 වැනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් නිකුත් කළ නිවේදනයකට අනුව නේෂන් ලංකා ඉක්වටීස් සමාගම 2018 අප්‍රේල් 17 වැනිදා වනවිට අවම කොටස් කිමිකරුවන්ගේ අරමුදල් අවශ්‍යතාවන්ද සම්පූර්ණ කිරීමට අපොහොසත්වී ඇති බවට සඳහන් කර තිබුණි.

ඒ අනුව එම සමාගම කොටස් තැරැව්කරුවන් සඳහා වන රෙගුලාසි අතරින් රෙගුලාසි 5.1.1 සහ රෙගුලාසි 5.2.1. වෙත අනුකූලතාවක් දක්වා නොමැති බවද එහි වැඩිදුරටත් සටහන් විය.

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳ පොළ රෙගුලාසි සඳහා අනුකූලතාවක් නොදැක්වීමේ චෝදනාව නේෂන් ලංකා ඉක්වටීස් සමාගම වෙත 2015 වසරේ සිටම පැවතුණි. ඒ අනුව 2015 නොවැම්බර් මාසයේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එම සමාගම වෙත නව ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීම සඳහා වන ප්‍රවර්ධන කටයුතුද අත්හිටුවා තිබුණි. පසුව 2016 අප්‍රේල් මාසයේදී නිකුත් කළ නිවේදනයකට අනුව එම තහනම ඉවත් කිරීමක්ද සිදු විය.

අසංග සෙනෙවිරත්න

මෙරට සුප්‍රසිද්ධ කොටස්තැරැව්කරුවෙකු වන අසංග සෙනෙවිරත්න මහතා නේෂන් ලංකා ඉක්වටීස් සමාගමේ සභාපතිවරයාද වෙයි. එසේම ඔහු කලක් කොළඹ කොටස් වෙළෙඳ පොළ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් නවලෝක සමූහ ව්‍යාපාරයට කොටස් හිමිකමක් සහිත නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් තැරැව්කාර සමාගම ලෙස ක්‍රියාත්මක වූ සීමාසහිත නේෂන් ලංකා ඉක්වටීස් (පෞද්) සමාගමේ කොටස් හිමිකමින් 58.57%ක් 2016 සැප්තැම්බර් මාසයේදී මිලදී ගැනීමත් සමගින්ම අසංග සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා බවට පත්විය. මහ බැංකුව මගින් අනුමත කළ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 160ක් පමණ විය.

අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/නිර්මාතෘවරයා වන අසංග සෙනෙවිරත්න මහතා, ඒෂියන් එලායන්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. එසේම කලක් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපතිත්වයද දරා ඇති ඒ මහතා, නැෂනල් වෙල්ස් කෝපරේෂන් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස 2011 වසරේ සිට කටයුතු කර ඇත. මීට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධුරයද දරා තිබේ.

Visits: 158