කොවිඩ්-19 බලපෑ ව්‍යාපාර වෙත රු.බිලියන 60ක කාරක ප්‍රාග්ධනයක්

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා මහබැංකුව මගින් ලබා දෙන ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන’ කාරක ප්‍රාග්ධන ණය පහසුකම යටතේ ව්‍යපාර 22,306 ක් සඳහා රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙහිදී 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මෙම කාරක ප්‍රාග්ධන පහසුකම් සපයා තිබේ. මෙය රටෙහි ආර්ථික කටයුතු නැවත නඟා සිටුවීමට ඉවහල් වනු ඇතැයි මහ බැංකුව විශ්වාසය පළ කරයි.

ඒ අනුව වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ඕනෑම ව්‍යාපාරයක් සඳහා මෙම යෝජනා ක්‍රමය යටතේ ණය සහ ලබා ගත හැකිය.

කෙසේ වෙතත් මෙම රුපියල් බිලියනයක වාර්ෂික පිරිවැටුම් සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවන බවත් මහ බැංකුව සඳහන් කරයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය  පහසුකම් ලබා ගැනීම සඳහා තම ණය අයදුම්පත 2020 අගෝස්තු 31 වැනිදා දක්වා අදාඵ බැංකු වෙත භාරදිය හැකි බවද මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම 2020 ජූලි 10 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළදී නව අයදුම්පත් 2,066ක් සඳහා රුපියල් මිලියන 6,978ක මුදලක් අනුමත කිරීමත් සමග මෙම රුපියල් මිලියන 60,250ක මුදල් ප්‍රමාණයට ළගා වී ඇත. එසේම 2020 ජූලි 09 වැනි දින වනවිට බලපත්‍ර ලාභී බැංකු විසින් ව්‍යාපාර 13,333ක් සඳහා රුපියල් මිලියන 30,528ක් මුදා හැර ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

Visits: 54