ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් බංකොලොත් – මහ බැංකුව

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතන මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2011 වසරේ සිට පැවැති විවිධ අක්‍රමිකතා මේ සදහා හේතු වී ඇති බව මහ බැංකුවේ නිර්දේශය වී තිබේ.

ඒ අනුව 2020 ජුලි මස 10 වැනිදා රැස්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් සර්විසස් පීඑල්සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කරන ලද බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව සමාගම් දෙකෙහිම ව්‍යාපාර කටයුතු අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා මහබැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින් එහි පවතින් නීති සහ රෙගුලාසි ප්‍රකාරව, රක්ෂිත තැන්පත්කරුවන් හට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් ආසන්න වශයෙන් 75%කට (සමස්ත තැන්පත්කරුවන් 38,111 ක් අතරින් 28,554කට සමස්ත තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව ලැබේ. ඉතිරි 25%ක තැන්පත්කරුවන්හට (තැන්පත්කරුවන් 9,557 කට) සිය තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා දීමට කටයුතු යොදන බව මහ බැංකුව සඳහන් කරයි.

එසේම ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගෙන් ආසන්න වශයෙන් 89%කට (සමස්ථ තැන්පත්කරුවන් 8,726 ක් අතරින් 7,802 කට) තම සමස්ථ තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙයි. ඉතිරි 11%ක තැන්පතුකරුවන්ට (තැන්පත්කරුවන් 924 කට) තම තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් ලක්ෂ 6ක මුදලක් මූලිකව ලැබෙනු ඇතැයි මහබැංකුව සඳහන් කරයි.

මේ අතර, 2020 ජුලි 13 වැනිදා දින සිට බලපැවැත්වෙන පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ලබා තිබූ ‘ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන’ සහතිකක අත්හිටුවීමේ නිවේදන නිකුත් කිරීමටද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

“ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථාතත්ත්වයට පත්කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා2018 ජනවාරි 02 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතනවල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදී.

ඉන් අනතුරුව ගනුලැබූ ක්‍රියාමාර්ග මගින් මෙම ආයතනවල පැවති මුළු තැන්පතුවලින් 30%ක ප්‍රමාණයක් තැන්පතුකරුවන් වෙත ගෙවීමට එම ආයතනවලට අවස්ථාව සැලසුණි. මුදල් මණ්ඩලයේ විධානයන් මගින් ආයතන දෙකෙහිම අධ්‍යක්ෂවරුන් වෙත එකී ආයතන යථාතත්ත්වයට පත්කිරීම සඳහා සුදුසු ආයෝජකයන් ඉදිරිපත් කිරීමට නියම කර තිබුණද, ක්‍රියාවට නැංවිය හැකි කිසිදු සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපෙහොසත්ව ඇති අතර, ආයතනයන්හි මූල්‍ය තත්ත්වයද ක්‍රමයෙන් පසුබෑමට ලක්වීම අඛණ්ඩව සිදුව තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ආයතන දෙකෙහිම තැන්පතු කල්පිරුණද, ඒවා තැන්පතුකරුවන්ට ගෙවීමට නොහැකි තත්ත්වයකට වර්තමානය වනවිට ආයතන දෙකම පත්වී ඇත.” ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙම ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කෙරෙනු ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ක්‍රමවේද ඔස්සේ විමසීම් කළ හැක.

1. ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සම්බන්ධව, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව  – දුරකතන අංක 011-2477229 හෝ 011-2477504. 
2. තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධව, මහ බැංකුවේ නිරාකරණ හා බල ගැන්වීමේ දෙපාර්තමේන්තුව – දුරකතන අංක 011-2398788 හෝ 011-2477261.
3. තැන්පතු සහ ණය පිළිබඳ සියලු විමසීම් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් දුරකතන අංක 011-7534200 ඇමතීමෙන්ද, ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසර්ස් පීඑල්සී – දුරකතන අංක 011-7534800 ඇමතීමෙන්ද ලබාගත හැකිය.

Visits: 56