මෝටර් රථ අලුත්වැඩියාවේදී සාධාරණ වෙළෙඳාමකට එකඟතාවක්

මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ සේවාව වඩාත් සාධාරණ ආකාරයෙන් ලබාදීමේ කටයුත්තක් සඳහා මුල පිරීමකට පියවර ගත් බව ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමය (SLASPA – Sri Lanka Automobile Service Provides Association) පවසයි. මෙය ‘සාධාරණ වෙළෙඳාමක් (FAIR TRADE)’ ලෙස හඳුන්වාදී තිබේ.

ඒ යටතේ පළමු අදියර ලෙස එම සංගමය සහ පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස් ආනයනය කරුවන්ගෙන් සංගමය (UMSIA – Used Motors Spare parts Importers Association) අතර එකඟතාවක් අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ.

මේ හරහා පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් සිය කර්මාන්තයේ නියාමනය සහ ප්‍රතිපත්තිමය ශක්තිමත් බවක් ඇති කිරීම අරමුණ බව ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමය පවසා සිටියි.

විශේෂයෙන්ම මෝටර් රථයක් අලුත්වැඩියාවේදී යොදා ගන්නා අමතර කොටස් පිළිබඳව එම අමතර කොටස් සපයන්නන් – මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් සහ පාරිභෝගිකයන් අතර  විනිවිදභාවයක් ඇති කිරීම මෙම එකඟතාවේ  අපේක්ෂාව වී තිබේ.

මෙලෙස එම සාධාරණ සේවාව සපයන ආයතන සඳහා පිරිනැමීම වෙනුවෙන් සකස් කෙරුණු ‘FAIR TRADE’ ලෙස සඳහන් සන්නාම සහතිකයක් එළිදැක්වීමත් මෙහිදී සිදුව ඇත.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමයේ ජාතික සංවිධායක ඉංජිනේරු රවිත් ද සිල්වා මහතා, මෙම එකඟතාව හරහා පාරිභෝගිකයා වෙත වඩාත් ඉහළ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව පවසා සිටියි.

“අපි මේ ෆෙයාර් ට්‍රේඩ් වැඩසටහන යටතේ මුලින්ම එකඟතාවකට පැමිණුනේ මෝටර් රථ අමතර කොටස් ආනයනය කර බෙදා හරින සමාගම් සමගයි. ලංකාවේ ජෙනියුන් අමතර කොටස් වගේම ව්‍යාජ නිෂ්පාදනත් අලෙවි වෙනවා. හොරෙන් ගලවා ගත් කොටස් සවි කිරීමත් සිදු වෙනවා. චීන නිෂ්පාදන විකිණෙනවා. මේ එකඟතාව යටතේ අමතර කොටස් විකුණන කට්ටිය මෝටර් රථ අලුත්වැඩියා කරන සමාගම් වෙත කියනවා මේ අමතර කොටස් ජෙනියුන්ද, චීනයෙන් ගෙනාපුවද කියලා. එහෙම නැත්නම් ගලවා ගෙන ආපුවද කියලා. එතැනදී යම් වගකීමක් එක්ක තමයි මේ අමතර කොටස් අපිට ලැබෙන්නේ. අපිත් පාරිභෝගිකයන්ට ඒ ගැන කියලා තමයි ඒ අමතර කොටස වාහනයට සවි කරන්නේ.”

මේ මුල පිරීමත් සමගින්ම ඉදිරියේදී මෝටර් රථ අලුත්වැඩියා කරන සමාගම් සඳහාද මෙම ෆෙයාර් ට්‍රේඩ් සහතිකය ලබා දීමට කටයුතු යොදන බවද රවිත් සිල්වා මහතා පවසයි. ඒ හරහා වඩාත් විශ්වාසදායක ලෙස මෝටර් රථයක් අලුත්වැඩියා කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 46