මෙරට මූල්‍ය සමාගම් ගණන 55 සිට 41 දක්වා අඩුවුණේ මහ බැංකුව නිසා

දැනට වසර කිහිපයකට පෙර 55ක් ව මෙරට තිබූ මූල්‍ය සමාගම් සංඛ්‍යාව මේ වනවිට 41 දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී ආයතන ඒකාබද්ධ කිරීම, අත්පත් කරගැනීම, බලපත්‍ර අවලංගු කිරීම මෙන්ම සමාගම් ඈවර කර දැමීම යන කාරණා සමගින් එම තත්ත්වය උදා වී ඇතැයි මහ බැංකුව  පවසයි.

පසුගියදා මහ බැංකු මූලස්ථානයේදී පැවැති 2020 වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය අවස්ථාවේදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් මේ පිළිබඳව අදහස් දැක්වීය.

විශේෂයෙන්ම ආසන්න වසර කිහිපයේදී මහ බැංකුව මෙම මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග නිසා මෙවැනි සමාගම් සංඛ්‍යාවකට එය අඩු වී ඇති බවත්, එවැන්නක් සිදු නොකළේ නම් මෙවැනි සංඛ්‍යාවකට එය පත් නොවන බවත් මහ බැංකුවේ අදහස වී තිබේ.

මේ යටතේ ආසන්නතම බලපත්‍රය අවලංගු කිරීම ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අහෝසි කිරීම වන අතර, එම අවස්ථාව වන විට මෙරට තුළ මූල්‍ය සමාගම් 42ක් විය.

එහෙත් දැනට මෙරට ක්‍රියාත්මක මූල්‍ය සමාගම් බොහෝමයක්ම අර්බුදකාරී තත්ත්ව යටතේ ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් එච්.ඒ. කරුණාරත්න මහතා ඒ අතරින් පහළ මට්ටමට වර්ගකර ඇති මූල්‍ය සමාගම් වෙත දැනටමත් විකල්ප යෝජනා ක්‍රම තුනක් ලබා දී ඇතැයිද පවසා සිටියේය.

“මහ බැංකුව මෙම මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග එලෙසින්ම පවතිනවා. ඒ සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මකයි. එතැනදී අදහස් කරන්නේ නෑ මේ සමාගම් වසා දැමීමක් සිදු කරනවා කියලා. අපේ විශ්ලේෂණයට අනුව පහළ මට්ටමේ වර්ගකර තිබෙන සමාගම් සඳහා ක්‍රම තුනක් තිබෙනවා. පළමු වැන්න එම සමාගම් සංස්ථාපනය කිරීම, දෙවැන්න නව ප්‍රාග්ධනයක් සමාගමට ගෙන්වා ගැනීම සහ ඒ අවස්ථා දෙකම සාර්ථක නොවුණොත් තෙවැන්න ලෙස සමාගම් ඒකාබද්ධ කිරීමයි.”

ඒ හරහා මෙම දුර්වල මූල්‍ය සමාගම් යළිත් නඟා සිටුවිය හැකි බව මහ බැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර, දැනට වසා දමා ඇති මූල්‍ය සමාගම්වල සේවකයන්ගේ රැකියා අහිමි වීම මහ බැංකුවේ වගකීමක් නොවන බව එහි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. මහ බැංකුවේ කාර්ය භාරය තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම මිස මූල්‍ය සමාගම් සේවකයන් ආරක්ෂා කිරීම නොවන බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික වගකීම වන්නේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමයි.  එහෙම නැතිව මූල්‍ය සමාගම්වල සේවකයන් ආරක්ෂා කිරීම නෙමෙයි. එය එම සමාගමේ ව්‍යාපාරය මගින් වාණිජමය තීරණයක් යටතේ සිදු කරන ලද බදවා ගැනීම්. මුදල් නීති පනත යටතේ මහ බැංකුවේ වගකීම වෙන්නේ සමාගමේ මූල්‍ය ස්ථායිතාව ඇති කිරීම සහ තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමයි.” ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා  එලෙස සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මහ බැංකුව මේ මූල්‍ය සමාගම් ගැන ක්‍රියාත්මක වුණේ නැත්නම් 55ක්ව තිබුණු සමාගම් සංඛ්‍යාව 41 දක්වා අඩු වෙන්නේ නැහැ. මේ කටයුතු ඉදිරියටත් සිදු වෙනවා. එතැනදී සමාගම් ඒකාබද්ධ කිරීමක් සිදු වේවි. සේවකයන්ට එක සමාගමක සිට තවත් සමාගමකට ගිහිල්ලා රැකියාවක් සොයා ගන්න පුළුවන් වේවි. හැබැයි ඔවුන්ගේ රැකියා ආරක්ෂා කිරීම මහ බැංකුවේ වගකීම නෙමෙයි.” යනුවෙන්ද පවසා සිටියේය.

මෙරට ක්‍රියාත්මක මූල්‍ය සමාගම් ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට – අබාන්ස් ෆිනෑන්ස්, එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි, ඒ.එම්.ඩබ්ලිව්. කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, ආර්පිකෝ ෆිනෑන්ස්, ඒෂියා ඇසෙට් ෆිනෑන්ස්, ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි, බිම්පුත් ෆිනෑන්ස්, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, ඩයලොග් ෆිනෑන්ස්, ඊ.ටී.අයි.ෆිනෑන්ස් (මෙම සමාගම මත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංක‍ා මහ බැංකුව විසින් නව තැන්පතු භාර ගැනීම අත්හිටුවීම ද ඇතුළත් ව සීමා කිරීම් පනවා ඇත.), එච්.එන්.බී. ෆිනෑන්ස්, අයිඩියල් ෆිනෑන්ස්, කැන්රිච් ෆිනෑන්ස්, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් (පෙර, සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඩ්), එල් බී ෆිනෑන්ස් පී එල් සී, එල් ඕ එල් සී ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස්, එල් ඕ එල් සී ෆිනෑන්ස් , ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස්, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස්, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස්, මල්ටි ෆිනෑන්ස්, නේෂන් ලංකා  ෆිනෑන්ස්, ඔරියන්ට් ෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් , ප්‍රයිම් ෆිනෑන්ස්, රිචඩ් පීරිස් ෆිනෑන්ස්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස්, සෙංකඩගල ෆිනෑන්ස්, සෙරෙන්ඩිබ් ෆිනෑන්ස් , සිංගර් ෆිනෑන්ස් (ලංකා), සිංහපුත්‍ර ෆිනෑන්ස්, (2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් මෙම ආයතනයට නිකුත් කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම සඳහා සමාගම සිය විරෝධතා ඉදිරිපත් කර ඇති අතර එහි ප්‍රාග්ධන වර්ධනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත. තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නියම කරන ලද කාල රාමුව තුල එම ප්‍රාග්ධන වර්ධනය කිරීමේ සැලස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනය වෙත අවස්ථාවක් ලබා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.), සියපත ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස්, (මෙම සමාගම මත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංක‍ා මහ බැංකුව විසින් නව තැන්පතු භාර ගැනීම අත්හිටුවීම ද ඇතුළත් ව සීමා කිරීම් පනවා ඇත.), ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස්, යූ බී  ෆිනෑන්ස් කම්පැනි, වැලිබල් ෆිනෑන්ස්    

Visits: 172