ණය පමා සහන කාලයේ පොළී ගෙවීම ගැන බැංකු සමග සාකච්ඡා කරන්න

කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමගින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීමෙන් බලපත්‍ර ලාභී වාණිජ බැංකු මගින් ලබා දුන් ණය පමා සහන කාලය සඳහා එම බැංකු අයකරගත යුතු පොළිය 7%ක් හෝ ඊට අඩු විය යුතු බවට උපදෙස් ලබාදී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

අද පෙරවරුවේදී මහ බැංකු මූල්‍යස්ථානයේදී පැවැත්වුණු 2020 වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය අවස්ථාවේදී මතු වූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙම ණය පමා සහන කාලයෙන් පසුව වාණිජ බැංකු එම ණය හිමිකරුවන්ගෙන් අදාළ මාස තුනට සරිලන ලෙස අධික පොළී මුදලක් අය කරගැනීමට යොමුවීමත්, එම මුදල් ගෙවීම සඳහා බලපෑම් සිදු කිරීම් පිළිබඳ වාර්තාවීමත් සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුවද ප්‍රකාශ කර ඇත්තේ මෙම කාලසීමාවේදී ණය මුදල හෝ ඊට අදාළ පොලිය ගෙවීමට අවශ්‍ය නොමැති බවකි.

“මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව මේ ණය පමා සහනය යටතේ පළමු කාරණය තමයි මාස තුනක හෝ හයක ණය සහ පොලිය නොගෙවා සිටීමට හැකියි කියන දේ. දෙවැනි කාරණය තමයි අවුරුදු දෙකක ණයක් ගත්ත කෙනෙක්ගේ ණය අවුරුදු දෙකහමාරක් වෙනවා. එතකොට බැංකුව පැත්තෙන් අවුරුදු දෙකේ ණයට පොළී අනුපාත සකස් කරලා තියෙන්නේ එම ණයේ ප්‍රාග්ධනයට සහ ණය පොළියට අනුව මාස 24 කටයි. ඒත් මෙතැනදී මාස 24 මාස 30ක් බවට පත්වෙනවා.

අපි චක්‍රලේඛයට අනුව පවසලා තියෙන්නේ ඒ අමතර මාස 6 සඳහා බැංකුව තැන්පත්කරුවන්ට ඒ ආකාරයෙන්ම පොළිය ගෙවිය යුතුයි කියලයි. හැබැයි දැන් ඒ පොළී අනුපාතත් අඩුවෙලා තිබෙන නිසා, මේ කාලසීමාවට අපි කිව්වේ යම් කිසි සහන පොළී අනුපාතයක් අය කරන්න කියලයි. උදාහරණයක් විදියට බැංකුවලට මේ සඳහා අය කරන්න පුළුවන් 7%ක උපරිම පොළියක් විතරයි.”

මෙහිදී ගනුදෙනුකරු සමගින් සාකච්ඡා කර එම ණය පොළිය වාරිකයක් හෝ වාරික කිහිපයක් අගට එකතු කිරීමේ හැකියාව බැංකුවට පවතින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම එම පොළී මුදල ගෙවීමේ හැකියාවක් ඇත්නම් අදාළ කාලසීමාව තුළදී එය ගෙවීමේ අවස්ථාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

“ණයක් කියන්නේ ගිවිසුමක්. එහි තියෙනවා මේ ණය මේ කාලසීමාවේදී ගෙවලා ඉවර කරනවා කියලා. මේ පමා සහනයත් එක්කම එම ගිවිසුම තවත් මාස හයකට අලුත් වුණා. ගනුදෙනුකරුවාට සම්පූර්ණයෙන්ම අයිතියක් තියෙනවා මේ ගැන බැංකුවත් සමග සාකච්ඡා කරන්න. එතැනදී අලුත් ගිවිසුමට අනුව ණය මුදල ගෙවා ගෙන යෑම ගැන පාර්ශ්ව දෙකම එකඟ වෙන්න ඕනැ.” ඔහු පවසයි.

“බොහෝ වෙලාවට වෙන්නේ ගනුදෙනුකරුවාගේ නොදැනුවත්කම නිසා සහ ඔවුන්ට බැංකුවත් සමගින් ඒ ගැන කේවල් කිරීමේ ශක්තියක් නොමැති නිසා ඉහළ පොළී තත්ත්වයන් ගෙවීමේ අවස්ථා ඇති වෙනවා. ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ගනුදෙනුකරුවන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා මහ බැංකුවේ චක්‍රලේඛය අනුව තමන්ට මේ ණය මුදල ගෙවීමට යම් ක්‍රමවේදයක් ලබා දෙන්න කියලා බැංකුවෙන් ඉල්ලන්න.” නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා එලෙස පැවසීය.

Visits: 85