ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට BBC සහාය නොමිලේම

කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් අර්බුදයට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමේ අවස්ථාවේදී ජාත්‍යන්තර බී.බී.සී. මාධ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉතාමත් වටිනා සහායක් ලබා දුන් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

විශේෂයෙන්ම ලෝකයේ තවත් අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව මෙම කොවිඩ්-19 වසංගතය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වූ රටක් ලෙස වඩාත් ඉහළ සෞඛ්‍ය පද්ධතියකින් සමන්විත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට ලෝක ප්‍රජාව අතර පිළිගැනීමට ලක්ව ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලෝකයේ අංක එකේ මාධ්‍ය දැවැන්තයෙකු ලෙස බී.බී.සී. මාධ්‍ය ආයතනය පසුගිය ජූනි මාසයේදී කිසිදු ගාස්තුවක් අය නොකර නොමිලේම මෙම ප්‍රවර්ධනය සඳහා සහාය දී තිබේ. එහිදී තත්පර 30ක කාලයකින් යුත් දැන්වීම් 375ක් එම නාලිකා ජාලයේ දකුණු ආසියානු, ආසියා පැසිෆික්, මැද පෙරදිග, උතුරු ඇමෙරිකානු සහ යුරෝපා කලාපයේ විකාශය වන නාලිකා හරහා ප්‍රචාරය කෙරී ඇත. මෙහිදී රූපවාහිනි සහ ඩිජිටල් යන මාධ්‍ය දෙක හරහාම මෙම අවස්ථාව හිමිවීමත් විශේෂත්වයකි.

“කොවිඩ්-19 වසංගතයෙන් පසුව උදාවන පරිසරය තුළ ලොව පුරා සිටින සංචාරකයන්ට වඩාත් ‘සුරක්ෂිත සහ ආරක්ෂිත’ සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන පූර්වආරක්ෂක ක්‍රියාමාර්ග සහ පිළිවෙත් පිළීබඳව දැනුවත් කිරීම සඳහා මෙම අවස්ථාව යොදා ගත්තා.” ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට දැනටමත් ලොව පුරා විශාල සංඛ්‍යාවක සංචාරකයන් පිරිසක් සිය සංචාරයන් ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තුවෙන් තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු එම සැලසුම් සියල්ල යම් කලකට නවත්වා තිබේ. ඒ අනුව උදා වන %නව සාමාන්‍ය^ තත්ත්වයේදී ගමනාන්ත ප්‍රවර්ධන අවකාශයන් ඉතාමත් තරගකාරී වෙනු ඇතැයි කාර්යාංශය විශ්වාසය පළ කරයි.

“සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා සංචරණයේ සන්නාමය දර්ශනයවීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. ඒ නිසා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලෙස අපි තවත් දැන්වීම්කරණ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සමගින්ම කටයුතු කරමින් ශ්‍රී ලංකාව මේ තෝරාගත් වෙළෙඳ පොළ තුළ ඉදිරියෙන්ම තැබීමට කටයුතු කරනවා.” එම කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

Visits: 94