BRANDS ANNUAL හි සඳහන් මෙරට වටිනාම අපනයන සන්නාම

මෙරට වෙත වැඩිම විදේශ විනිමය ආදායමක් හිමි කර දෙන අපනයන ක්ෂේත්‍රයේ සමාගම් අතරින් වඩාත් වටිනාම සන්නාම පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්නට බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු යොදා තිබේ. සිය බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් 100 වාර්ෂික වාර්තාව හරහා ඔවුන් මේ සන්නාම ලැයිස්තුව ඉදිරිපත් කර තිබේ.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය මගින් සකස් කළ මෙරට වඩාත් වටිනාම සන්නාම පිළිබඳ දර්ශකය පළ කරමින් Media Services මගින් ප්‍රකාශයට පත් කරන BRANDS ANNUAL සඟරාවේ නවතම සංස්කරණයෙන් (2020 Edition) හි මේ පිළිබඳව පළ වී තිබේ. Media Services සමාගමේ ප්‍රකාශනයක් වන LMD සඟරාව සමගින් මෙවර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් දර්ශකය ප්‍රසිද්ධියට පත් කිරීම සිදු වන්නේ නොකඩවා 17 වැනි වරට වීමද විශේෂත්වයකි.

මේ සන්නාම අතර වැඩි වශයෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ සන්නාම පවතින අතර, මෙතෙක් කලක් අපනයන ක්ෂේත්‍රයේ මුල් ස්ථාන රැක ගැනීමට සමත් වූ මෙරට තේ සන්නාම වෙනුවට තොරතුරු තාක්ෂණික සමාගම්හි සන්නාම මෙහි කැපී පෙනෙන ලෙස ඉදිරියට ඒමක්ද පෙන්නුම් කර ඇත.

එහිදී මෙරට ඇගලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සමාගමක් වන Mas Holdings සමාගම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්හි 2020 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් සන්නාම වටිනාකම් ලැයිස්තුවෙහි මුල් තැන හිමි කර ගැනීමට සමත්ව සිටියි. ඒ සඳහා MAS Holdings සමාගම ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 90.18 කි.

එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ මෙරට තවත් ප්‍රමුඛ පෙළේ අපනයන ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමයි. ඔවුන් හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 89.28 කි.

එසේම තවත් ඇගලුම් සමාගමක් වන හයිඩ්‍රාමනී සන්නාමය මෙම ලැයිස්තුවේ හයවැනි ස්ථානයේ පසුවෙයි. එය හිමි කරගෙන ඇතු ලකුණු සංඛ්‍යාව 81.44 කි. මීට අමතරව එම ක්ෂේත්‍රයම නියෝජනය කරන Hela Clothing සමාගම 09  වැනි ස්ථානයට පත්ව ඇති අතර ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 79.09 කි.

“ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ඇගලුම් කර්මාන්තය හරහා සාර්ථක වී තිබෙන බවට මීට වඩා උදාහරණ නැහැ. මාස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් යන සමාගම් මෙම වටිනාම සන්නාම ලැයිස්තුවේ අංක එක සහ දෙක ස්ථාන හිමි කරගෙන තිබෙනවා. ඒ වගේම හයවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ හයිඩ්‍රාමනි  සන්නාමයයි.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් පවසයි.

මෙම සන්නාම ලැයිස්තුවෙහි තෙවැනි ස්ථානයට පත්වීමට සමත්ව ඇත්තේ තොරතුරු තාක්ෂණික සේවා සැපයුම් සිදු කරන මෙරට සුප්‍රසිද්ධ සමාගමක් වන Virtusa සමාගමයි. එය හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 87.65 කි. ඊට අමතරව තවත් තොරතුරු තාක්ෂණිත සමාගමක් වන WSO2 හි සන්නාමය ලකුණු 82.26ක් ලබා ගනිමින් පස් වැනි ස්ථානයේ පසුවෙයි.

ඊට අමතරව හත්වැනි සහ 10 වැනි ස්ථානයන්ද පිළිවෙලින් හිමි කරගෙන ඇත්තේ මෙරට තොරතුරු තාක්ෂණික සේවා සපයන සමාගම් වන LSEG Technology සමාගම සහ IFS යන සමාගම්ය. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 80.32 ක් සහ 76.63 කි. එසේම මෙම දර්ශකයේ 11 වැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ ලකුණු 76.19 ක් හිමි කරගෙන ඇති එම ක්ෂේත්‍රයටම අයත් WNS සමාගමයි.

“ආසන්න කාලසීමාවේදී තොරතුරු තාක්ෂණික සමාගම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේදී ප්‍රධාන ප්‍රභවයක් බවට පත්ව තිබෙනවා. අද වනවිට එම ආදායමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක් පමණ වෙනවා. මෙතැනදී ලංකාවේ තොරතුරු තාක්ෂණික සමාගම් 5ක්ම  මෙහි මුල් ස්ථාන අතරට එක්ව තිබෙනවා.”

මෙහිදී ඉතා කුඩා කණ්ඩායම් ලෙස මෙම සේවා සැපයුවත් විශේෂිත පාරිභෝගිකයන් පිරිසක් වෙත සිය සේවා සපයමින් එම සමාගම් ඉතා සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන ඇතැයිද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සඳහන් කරයි.

තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සමාගමක් වන ඩිල්මා සිලෝන් තේ සන්නාමය මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 87.47 කි.

නිෂ්පාදන ක්ෂේත්‍රය යටතට ගැගෙන කලම්බඩු ඩොක්යාර්ඩ් සමාගම මෙම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 80.19 කි.  

Visits: 239