මූල්‍ය සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ වයස් සීමාව වසර 5කින් ඉහළට

මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරන පිරිසට එම ධුර දැරීම සඳහා වලංගු වයස් සීමාව අවුරුදු 75 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවසරය ලබා දී ඇතැයි වාර්තා පවසයි. මෙතෙක් කලක් එම සීමාව වයස අවුරුදු 70 ලෙස සටහන්ව තිබුණි.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා වන සාංගමික යහපාලන උපදෙස් සඳහා සංශෝධන එක් කරමින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මෙම සංශෝධන සිදු කර තිබේ.

ඒ අනුව අදාළ පිරිසට එම මූල්‍ය සමාගමේ අවශ්‍යතාවන් උපරිමව සැපයීමේ ඇති හැකියාව පිළිබඳව මුදල් මණ්ඩලය මගින් තීන්දු කිරීම හරහා, දැනට වයස අවුරුදු 70ක් වන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට තවත් වසර තුනක කාලයක් එම ධුරය රැඳී සිටීමේ අවස්ථාව සැලසෙයි. එම කාලසීමාවේදී ඒ තනතුර සඳහා සුදුසු අයෙකු තෝරා ගැනීම සිදු කළ යුතුව ඇත.

මෙහිදී එවැනි වයස් මට්ටමක පසුවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ධුර කාලය දිගු කිරීම සම්බන්ධ තීරණයක් ඊට පෙර මුදල් මණ්ඩලය වෙත දැන්විය යුතු බවද එම මණ්ඩලය සඳහන් කරයි.

“මෙවැනි අභියෝගාත්මක කාලසමයකදී වඩාත් අත්දැකීම් සහිත පිරිස් මෙම බැංකු නොවන මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආකර්ෂණය කරගැනීමට පවතින සීමාසහිත බව සලකා බලා මෙවැනි වයස් මට්ටම්වල සිටින පිරිසට තවදුරටත් එම ධුරයන්හි කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කළා.”මහ බැංකුවේ මුදල් මණ්ඩලය පවසයි.

මේ අතර බැංකු නොවන මූල්‍ය ආයතන තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව ගත් පියවර අතර මෙම තීරණයත් පවතින බව ඇතැම් පිරිස් සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම මූල්‍ය සමාගම් සහ ඒවායේ මුදල් තැන්පත් කර ඇති පිරිස් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ක්ෂේත්‍රය තුළ වඩා හොඳ ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මහ බැංකුව වෙත පසුගියදා සිදුකළ දැනුම්දීම යටතේ මේ වයස් සීමා දිගු කිරීමේ තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

Visits: 142