කොවිඩ්-19 නිසා වූ ආර්ථික බලපෑම ගැන ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් සමීක්ෂණයක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි ආර්ථික කටයුතු වෙත සිදචු වූ බලපෑම පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

අන්තර්ජාලය හරහා සිදු කරන සමීක්ෂණයක් වන මෙය නිල වශයෙන් දියත් කිරීම එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අයි.ආර්. බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  සිදු විය. ඒ අනුව ජුලි 03 වැනිදා ආරම්භ වුණු මෙම සමීක්ෂණ ජූලි 23 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

https://data.statistics.gov.lk/covidimpact/ යන වෙබ් ලිපිනයෙන් මේ සමීක්ෂණය වෙත ලියාපදිංචි විය හැකිය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත, ඉදිකිරීම් වෙළෙඳ සහ වෙනත් සේවා අංශ කෙරෙහි කොවිඩ්වෙ -19 හි බලපෑම පිළිබඳ සමීක්ෂණය 2020 ලෙස එය නම් වී තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අයි.ආර්. බණ්ඩාර මහත්මිය

මෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ඇත. තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව උපරිම මාස දෙකක කාලයකදී එහි ප්‍රතිඵල නිකුත් කළ  හැකි වෙනු ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

මෙහිදී දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විධිමත් සහ අවිධිමත් ව්‍යාපාර නියෝජනය කරනු ලබන ඒකක 20,000 කට අධික නියැදියකින් අදාළ සමීක්ෂණය සිදු කිරීම සැලසුම වී තිබේ.

සමීක්ෂණය සඳහා සහභාගි වන ලෙස දෙපාර්තමේන්තුව දැනටමත් මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ආයතන වෙතින් විද්‍යුත් තැපෑල හරහා ආරාධනා කර තිබේ. එසේම සුළු හා  කුඩා පරිමාණයේ ආයතනවල සමීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් 331 දෙනෙකු විසින් සිදු කරයි.

විශේෂයෙන්ම මෙම වසංගතය හේතුවෙන් රටෙහි ඇතැම් ප්‍රදේශ මාස දෙකකට වැඩි කාලයක් වසා දැමීමක් සිදු වීමත්, ඒ නිසා සිදු වුණු ව්‍යාපාරික කටයුතු අඩපණවීම් නිසා තවදුරටත් එම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට ව්‍යවසාකයන්ට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම දහස් ගණනක් වූ සේවකයන්ගේද රැකියා අහිමි වීමේ අවදානමක් සිදුව තිබෙන බවත් ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව ඇති වූ මෙම දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය දැනටමත් ණය සහන ඇතුළු සහන රැසක්ම ලබා දී තිබේ. එහෙත් ආර්ථිකයෙහි සියලු අංශ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වඩාත් ඵලදායී වූ දිගු කාලීන ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා අවශ්‍ය නිවැරදි හා කාලීන තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම සමීක්ෂණය පවත්වන බව එම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අයි.ආර්. බණ්ඩාර මහත්මිය පැවසුවාය.

Visits: 93