සෙංකඩගල ෆිනෑන්ස් නෙදර්ලන්ත FMO බැංකුවෙන් ඩො.මි. 25ක ණයක් ගනියි

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම් අතර පවතින සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම නෙදර්ලන්තයේ සංවර්ධන බැංකුවක් වන FMO – ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව (Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V.) හරහා  එක්සත් ජනපද ඩොලර් මිලියන 25න මූල්‍ය පහසුකමක් ලබා ගත් බව එම සමාගම පවසයි.

මෙහිදී සෙංකඩගල ෆිනෑන්ස් සමාගම මගින් ලබා දෙන මෝටර් රථ ලීසිං පහසුකම් වෙනුවෙන් සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත අවශ්‍ය ණය ලබා දීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම සැපයෙන බව නෙදර්ලන්තයේ FMO බැංකුව සිය වෙබ් අඩවියේ සඳහන් කර සිටියි.  2019 දෙසැම්බර් මාසයේදී සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඊට අදාළ ගිවිසුම අත්සන් තබා තිබෙ ්.

විශේෂයෙන්ම විදුලි සහ දෙමුහුන් යන පරිසර හිතකාමී මෝටර් රථ සඳහා මෙම ලීසිං පහසුකම් සැපයීම වෙනුවෙන් අදාළ මුදල් ලබා දී තිබේ. එසේම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හිදී කාන්තාවන්ගේ හිමිකාරීත්වය සහිත ව්‍යාපාර වෙත වැඩි අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්ද මෙම පහසුකම ලබා දෙන බව එම බැංකුව  පවසයි.

“සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතුව ආසන්න කාලසීමාවේදී කල්බදු සේවාව සම්බන්ධයෙන් ඉතා ශක්තිමත් වර්ධනයක් පවතිනවා. ඒ වගේම එය අනාගතයේදී මේ වෙළෙඳ පොළ තවදුරටත් දියුණුවක් බලාපොරොත්තු වෙනවා. එහිදී පරිසර හිතකාමී දෙමුහුන් සහ විදුලි මෝටර් රථ සඳහා වඩාත්  හිතකර ආකාරයේ රෙගුලාසි පැනවීමත් සමගින්ම සමාගම මෙම අංගශය තුළ ඉහළ වර්ධනයක් බලාපොරොත්තුව සිටිනවා.”  FMO බැංකුව සිය වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව FMO මගින් ලබා දෙන මේ ණය සහාය හරහා සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී වෙත එම කටයුතු සාර්ථක කරගැනීමට හැකි වන බව බැංකුවේ විශ්වාසය වී තිබේ. එසේම මෙම ණයෙන් කොටසක් කාන්තාවන්ගේ හිමිකාරීත්වයෙන් යුත් ව්‍යාපාර වෙත අවශ්‍ය සහාය ලබාදීම සම්බන්ධයෙන්ද වෙන්වී තිබෙන බවත්, ඒ හරහා දැනට පවතින අසමානතාව අවම කිරීම FMO හි අරමුණ බවත් බැංකුව පවසයි.

1968 වසරේදී මහනුවරදී ආරම්භ කෙරුණු මෙම සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතුව අද වනවිට රට පුරා විහිදුනු ශාඛා 100ක් පමණ පවතින බවත් සඳහන් වෙයි. එසේම එහි සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 73,000කට අධිකය.

කල්බදු පහසුකම් ලබාදීමේ විශේෂඥයන් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ණය ලබාදීම්හි 85%ක්ම කල්බදු ලෙස හඳුනාගෙන ඇත. එහිදී මෝටර් රථ සඳහා කල්බදු පහසුකම්වලට මෙන්ම මෝටර් රථ සමපාර්ශ්විය ලෙස සලකා ක්ෂුද්‍ර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණය ලබා දීමේ හැකියාවද පවතී.  

නෙදර්ලන්තයේ FMO බැංකුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් ව්‍යාපාර සඳහා ආයෝජන 14ක් සිදු කර තිබේ. ඒ අතරින් තවත් එක් වටිනාකමින් වැඩිම ආයෝජනයක් ලෙසද මෙය සැලකෙයි. මීට පෙර සිටිසන් ඩිවලොප්මන්ට් බැංකුව, හැටන් නැෂනල් බැංකුව යනාදී මූල්‍ය ආයතන වෙතද නෙදර්ලන්තයේ FMO බැංකුව මූල්‍ය පහසුකම් ලබා දී තිබේ.

Visits: 256