විශේෂ තැන්පතු ගිණුම විවෘත කිරීමේදී මූල්‍ය බුද්ධි ඒකකයේ නියෝග අනුගමනය කරන්න – මහ බැංකුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත උපදෙස්

මෙරට වෙත විදේශ මුදල් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ  මුදල් මණ්ඩලය මගින් හඳුන්වාදුන් ‘විශේෂ තැන්පතු ගිණුම’ විවෘත කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නිකුත් කර ඇති නියෝග, රීති, මාර්ගෝපදේශ අනුගමනය කිරිම වැදගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව එම ගිණුම් සඳහා පහසුකම් සලසන සියලුම බැංකු වෙත සඳහන් කර සිටියි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නිකුත් කර ඇති නියෝග, රීති, මාර්ගෝපදේශ යනාදිය මෙන්ම විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ යෙදෙන අවශ්‍යතාවන්ට, විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳව ඇති නියෝගවලින් කෙරෙන නිදහස් කිරීම් අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටියි.

මෙම විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකාවේ බැංකු (බලයලත් වෙළෙදුන්) අවශ්‍ය නිසි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලි අනුගමනය නොකරන්නේ යැයි බලධාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ කරුණු සඳහන් කර සිටියි.

විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ 2020.04.08 දිනැති නියෝග නිකුත් කිරීම මගින් මුදල් මණ්ඩලය විසින් මෙම විශේෂ තැන්පතු ගිණුම හඳුන්වාදීම සිදු විය.  මේ හරහා කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදී සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබාදීම අරමුණ විය.

මෙම නියෝග අනුව මෙම විශේෂිත මුදල් තැන්පත් කිරීමේදී එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමසීමක් සිදු නොකරන බවට සඳහන්ව තිබේ. කෙසේ වෙතත් විදේශ විනිමය පනතෙහි (76) වගන්තියට අනුව, යම් ප්‍රාග්ධන ගනුදෙනුවක් වෙනත් ඕනෑම නියාමන නීතියකට අනුකූල බවට සෑහීමකට පත්වීමේ සාධාරණ අවශ්‍යතාවක් ඇත් නම්, එම ගනුදෙනුවෙහි යෙදෙන පුද්ගලයාගේ තොරතුරු/ලිපිලේඛන සපයන ලෙස ඉල්ලා සිටීම බලයලත් වෙළෙන්දා ( බැංකු) විසින් සිදු කිරීම අවශ්‍ය බවත් මහ බැංකුව පවසයි.

එසේම විදේශ විනිමය පනතෙහි 9 (5) වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන සහ නිරීක්ෂණ කටයුතු සඳහා, බලයලත් වෙළෙන්දෙකු විසින් යෙදෙන ලද ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එම බලයලත් වෙළෙන්දා විසින් අවුරුදු හයක කාලයක් තබා ගැනීමත් අවශ්‍ය වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

පෙර ලිපි
විශේෂිත තැන්පතු ගිණුම ගැන රටවල් කිහිපයක කනස්සල්ල

Visits: 54