ප්‍රශාන්ත ප්‍රනාන්දු HNB ඇෂුවරන්ස් ප්‍රධාන විධායක ධුරයට

HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ සහ එහි පරිපාලිත සමාගමක් වන HNB ජෙනරල් ඇෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ප්‍රශාන්ත රවීන්ද්‍රන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා එකඟතාවට පැමිණි බව පවසයි.

ඒ අනුව 2020 ජූලි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා මෙම ධුරයට පත්ව තිබේ. එහෙත් ධුරයට පත්වන අවස්ථාව වනවිට ඒ මහතා සමාගමේ කිසිදු කොටසකට හිමිකම් නොකියන බවත් සමාගම සඳහන් කරයි.

මෙතෙක් HNB ඇෂුවරන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ දීප්ති ප්‍රසාද් ලොකුආරච්චි මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ධුරය සඳහා ප්‍රශාන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස පත්ව තිබේ.

ප්‍රශාන්ත ප්‍රනාන්දු මහතා 2012 වසරේදී HNB ඇෂුවරන්ස් සමාගම හා එක්වී ඇත. එහිදී ජීවිත රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2015 වසරේදී එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබ තිබේ.

වසර 26ක ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ප්‍රශාන්ත ප්‍රනාන්දු මහතා සීමාසහිත සීටීසී ඊගල් රක්ෂණ සමාගමෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කර ඇත. පසුව Aviva NDB ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ජීවිත රක්ෂණ මෙහෙයුම්හි සහකාර සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කර තිබේ. HNB ඇෂුවරන්ස් පීඑල්සී වෙත ඒ මහතා සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවයි.

Visits: 138