බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් HNB ෆිනෑන්ස් උප සභාපති ධුරයෙන් විශ්‍රාම ගනී

හැටන් හැටන් නැෂනල් බැංකුවට පූර්ණ අනුබද්ධිත HNB Finance Limited හි උප සභාපතිවරයා සහ ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම ගන්නා බව එම සමාගම පවසයි.

2020 ජූනි 29 වැනිදා (ඊයේ) සිට ක්‍රියාත්මක වන ලෙස මෙම විශ්‍රාම ගැනීම සිදුව තිබේ. වසර 09ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමත් සමගින්ම ප්‍රේමලාල් මහතා මෙලෙස HNB Finance Limited හි උප සභාපති ධුරයෙන් විශ්‍රාම ගත් බව එම සමාගම සඳහන් කරයි. විශ්‍රාම යන විට ඒ මහතා සතුව HNB Finance Limited හි කිසිදු කොටස් හිමිකමක් නොතිබූ බවත් පැවසෙයි.

හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා HNB Finance Limited හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ප්‍රයිම් සමූහයේ සම නිර්මාතෘවරයා වන බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සමූහ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

2000 වසරේදී HNB Grameen Finance Limited ලෙස ආරම්භ වූ සමාගම 2011 වසරේදී ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයත් සමගම ප්‍රයිම් ග්‍රාමීන් ලෙස සන්නාමකරණය විය. බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා එම සමාගමේ උප සභාපතිවරයා බවට පත්වූයේ එම අවස්ථාවේදීය.

පසුව 2015 වසරේදී හැටන් නැෂනල් බැංකුව මගින් වැඩි කොටස් ප්‍රමාණයක් යළිත් අත්පත් කරගැනීමත් සමග HNB ග්‍රාමීන් ෆිනෑන්ස් සමාගම බවට පත්විය. පසුව 2018 වසරේදී එය HNB Finance Limited ලෙස සන්නාමකරණයට විය.

අද වනවිට HNB Finance Limited හි කොටස් අතරින් 51% ක ප්‍රතිශතයක් හැටන් නැෂනල් බැංකුව වෙත හිමිව ඇති අතර 39.57%ක කොටස් ප්‍රතිශතයක් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම වෙත හිමිව තිබේ.

HNB Finance Limited මූලික මහජන කොටස් නිකුතුවක් පසුගිය පෙබරවාරි 17දා සිදුවුණු අතර ඒ සඳහා අධිඉල්ලුමක්ද වාර්තා කෙරිණි. මේ වනවිට එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි දිරි-සවි පුවරුවෙහි ලැයිස්ගුතවී තිබේ.

HNB Finance Limited සතු ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21ක් මගින් පාරිභෝගිකයන් ලක්ෂ පහකට ආසන්න පිරිසකට සේවා සලසන බවත්, ඒ සඳහා සේවකයන් 2,0008ක් යොදවා ඇති බවත් සමාගම පවසා සිටියි.

Visits: 441