HNB ෆිච් රේටිංග්ස්හි ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, රටේ පවතින දැඩි අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වූවද FitchRatings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට සමත්ව ඇතැයි පවසයි.

මෙලෙස ශ්‍රේණිගත ස්ථාන දෙකකින් ඉහළට පැමිණීමත් සමග, ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු කිහිපය අතර ස්ථානගත වීමට හැටන් නැෂනල් බැංකුවට හැකි වී තිබේ. එසේම Fitch ශ්‍රේණිගත කිරීම මඟින් මෙම කාණ්ඩයට ලබා දී ඇති ණය ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට සහ වත්මන් මෙහෙයුම් පරිසරය සහ ආයෝජක විශ්වාසය තවත් වර්ධනය කරනු ඇතැයිද බැංකුව සඳහන් කරයි.

මේ පිළිබඳ අදහස් දක්වන HNBකළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා, “HNB මෙම ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම් හි ඉහළට යෑම තුළින් පෙර නොවූ විරූ අස්ථාවර වාතාවරණයකදී පවා බැංකුව සතු මූල්‍ය ශක්තිය හොඳින් පිළිබිඹු කරන බව අප විශ්වාස කරනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

කොවිඩ් හේතුවෙන් රට වසා දැමූ කාලය තුළ, ඩිජිටල් බැංකුකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්,SOLO, MOMO සහ AppiGoවැනි නව්‍ය විසඳුම් තුළින් දිවයින පුරා විසිර සිටින ගනුදෙනුකරුවන්ට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සහ ගනුදෙනු සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි බව සහතික කළ පළමු හා වඩාත් ක‍්‍රියාකාරී ආයතන අතර HNB ප‍්‍රමුඛතම ආයතනයක් වූ බවත් පවසයි.

එසේම, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය පහසුකම් ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකුව ගනුදෙනුකරුවන් සමඟ පූර්ව සූදානමකින් යුක්තව කටයුතු කළ බවත් බැංකුව සඳහන් කරයි.

2020 මාර්තු 21 අවසන් වන විට බැංකුවේ Tier I සහ සමස්ත ප‍්‍රාග්ධන අනුපාත පිළිවෙළින්13.85% සහ 17.25% වන අතර එය නියාමන අවම අවශ්‍යතා මට්ටමට වඩා ඉහළ මට්ටමක් වෙයි.

Visits: 139