විශේෂිත තැන්පතු ගිණුම ගැන රටවල් කිහිපයක කනස්සල්ල

මෙරට තුළ විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඉහළ දැමීමේ අරමුණින්, මාස හයක කාලයක් සඳහා ඉහළ පොළියක් ලැබෙන ලෙස විදේශගතව සිටින පුද්ගලයන්ගේ මුදල් මෙරට බැංකු තුළ තැන්පත් කිරීම සඳහා රජය විසින් හඳුන්වාදුන් ‘විශේෂිත තැන්පතු ගිණුම (SDA – Special Deposit Account)’ සම්බන්ධයෙන් රටවල් කිහිපයක් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි.

මෙම විශේෂිත තැන්පතු ගිණුම වෙත තැන්පත් කෙරෙන මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රශ්නකිරීමක් සිදු නොවීම මෙම තත්ත්වය ඇති වීම සඳහා හේතුව වී තිබේ. විශේෂයෙන්ම මේ හරහා මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම යන කාරණා සඳහා රුකුලක් ලබා දෙන බවට ඔවුන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව ජර්මානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කිහිප දෙනෙකු සහ මෙරට යුරෝපියානු මෙහෙයුමේ නිලධාරීන් දෙදෙනකු පසුගියදා මහ බැංකුවේ නිලධාරීන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කෙරී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු නිලධාරීන් මෙම විශේෂිත තැන්පතු ගිණුම හරහා කිසි ලෙසකින්වත් රජය ක්‍රියාත්මක කරන මුදල් විශුද්ධිකරණයට එරෙහි සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට එරෙහි කාරණා වෙත බාධාවක් නොවන බවට අවධාරණය කර තිබේ. එසේම වාණිජ බැංකු මෙම තැන්පතු ලබා ගැනීමේදී ඊට අදාළ සුපරීක්ෂා කටයුතු සිදු කරන බවත් මහ බැංකුවේ අදහස වී ඇත.

මේ අතර මෙම විශේෂිත තැන්පතු ගිණුමේ ඇති සුවිශේෂී පහසුකම් සහ වරප්‍රසාද හේතුවෙන් මේ වනවිටත් බොහෝ පිරිසකගේ අවධානය ඊට යොමුව ඇත. එසේම මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකු බොහෝමයක්ම සිය විදේශ මුදල් තැන්පතු ඉහළ නැංවීමේ අරමුණින් මෙම විශේෂිත තැන්පතු ගිණුම වෙත තැන්පත්කරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා තරගයකද නිරතවෙමින් සිටියි.

“ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකික පුරවැසියන්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෙනත් රටවල පුරවැසියන්, ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකික නොවන තැනැත්තන්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/ලියාපදිංචි අරමුදල්, සංස්ථාපිත මණ්ඩල, සංගම් සහ රට පිළිබඳව සුභසිද්ධිය පතන අනෙකුත් පාර්ශ්වයන්” යනාදී පිරිස් අදාළ විශේෂ තැන්පතු ගිණුම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන් ලෙස නම් කෙරී ඇත.

එක්සත් ජනපද ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්‍රෝන, ස්විස් ෆ්‍රෑන්ක්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, ජපන් යෙන්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, නෝර්වීජියානු ක්‍රෝනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් යන පිළිගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ඒකක හෝ ශ්‍රී ලංකා රුපියල් මගින් මෙම තැන්පතු සිදු කළ හැකිය.

මෙහිදී අවම තැන්පතු සීමාවක් නොමැති අතර තැන්පතු සියල්ලම මාස හයකින් කල් පිරෙන ස්ථාවර තැන්පතු වෙයි. තැන්පතු කල් පිරීමේදී වඩා ඉහළ පොළියක් හිමි වන බවත් පැවසෙයි. ඒ අනුව මාස හයක තැන්පතු සඳහා – සාමාන්‍ය පොළී අනුපාතයට වඩා වාර්ෂිකව ප්‍රතිශතාංග එකක (1%) ඉහළ පොළියක් සහ මාස 12ක තැන්පතු සඳහා – සාමාන්‍ය පොළී අනුපාතයට වඩා වාර්ෂික ප්‍රතිශතාංග දෙකක  (2%) ඉහළ පොළියක් හිමි වෙයි.

එසේම අදාළ තැන්පතුවල ප්‍රභවය පිළිබඳව නොවිමසීමත්, සියලු බදුවලින් ඒවා නිදහස්වීමත් සහ මාස 6ක සහ මාස 12ක තැන්පතු කාලයකට සාමාන්‍ය තැන්පතුවලට වඩා වැඩි පොළියක් හිමිවීමත් මෙම විශේෂිත තැන්පතු ගිණුමේ විශේෂත්වය වී තිබේ.

පෙර ලිපි
විදේශ මුදල් තැන්පතුවට විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙයි
‘විශේෂ තැන්පතු ගිණුම’ සඳහා තැන්පත්කරුවන් ආකර්ෂණයට වාණිජ බැංකු අතර තියුණු තරගයක්

Visits: 124