නියමිත බදු නොගෙවන විශාල සමාගම් විගණනයට වෙනම බදු ඒකකයක්

දැනටමත් වාර්ෂිකව විශාල වශයෙන් බදු ගෙවීම සිදු කරන සමාගම් 600ක් සම්බන්ධයෙන් විගණනය කිරීම සඳහා නව බදු ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මෙම සමාගම් හරහා ලැබිය යුතු බවට ඇස්තමේන්තු කර ඇති බදු ආදායම අදාළ සමාගම් හරහා නොලැබීම මෙම නව ඒකකය පිහිටුවීමට හේතු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා දිනයේදී අනාවරණය කර තිබේ.

දෙපාර්තමේන්තුව පවසන ආකාරයට විශාල බදු ගෙවීම් ඒකක (LTUs – Large Taxpayers Units) ලෙස හඳුනාගන්නා මෙවැනි සමාගම් 3,000 ක් සම්බන්ධයෙන් දැනටමත් බදු ලිපි ගොනු විවෘතව පවතී. ඒ අතරින් සමාගම් 600ක් සම්බන්ධයෙන් පමණක් නව ඒකකය මගින් විගණනය කිරීමට නියමිතව ඇත. මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙකුට අනුව දෙපාර්තමේන්තුවේ සමස්ත බදු ආදායමෙන් 75%ක් පමණම මෙම සමාගම් අතරින් ලැබෙන බව පුවත්පත වැඩිදුරටත් කරුණු අනාවරණය කරයි.

මෙම නව ඒකකය සඳහා විශේෂයෙන්ම නම් කළ සාමාජික මණ්ඩලයක් පත් කිරීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි. මෙම නව ඒකකයේ විගණන කටයුතු ලබන ජූලි මාසයේ සිට ආරම්භ කෙරෙන බවත් පැවසෙයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත මෙම නව ඒකකය පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී තිබේ. එම අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන මීළග ණය වාරිකය  සඳහා සුදුසුකම් ලැබීමට අදාළ එක් කොන්දේසියක් ලෙසද මෙය ඇතුළත්ව ඇතැයි පැවසෙයි. ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම නව විගණන කමිටුව ස්ථාපිත කෙරී ඇත.

වාර්තාවලට අනුව මෙම නව ඒකකයේ මූලිකම ඉලක්කය වන්නේ බදු ආදායම ඉහළ නැංවීම සහ එකම සමාගම මගින් පවත්වාගෙන යන එකිනෙකට වෙනස් බදු ගොනු නියමිත ලෙස විගණනයට ලක් කරමින් ඒ සියල්ල එක් තනි ඒකකයක් වෙතට හුවමාරු කරගැනීමයි.

ඒ අනුව මෙම ඒකක මගින් මෙරට විශාල මට්ටමේ බදු ගෙවන සමාගම් සම්බන්දයෙන් සුපරික්ෂාවට ලක් කෙරෙනු ඇති බවත්, ඒ හරහා ලැබෙන සවිස්තරාත්මක විගණන වාර්තා හරහා සමාගම් වෙත බදු වශයෙන් ගෙවිය යුතු සිය ආදායම් පිළිබඳව සැඟවීම අසීරු වෙනු ඇති බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විශ්වාසය වී තිබේ.

Visits: 158