MCC ගිවිසුමට අදාළ ඩොලර් මිලියන 10ක් අස්ථානගත වෙලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC)ගිවිසුමේ අදියර දෙකක් සඳහා ශ්‍රී ලංකාව 2017 සහ 2018 වසරවලදී අත්සන් තබා ඇති  බව එම සමායතන ව්‍යාපෘතියේ සමාලෝචන කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

මෙම සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරමින් මහාචාර්ය ගුණරුවන් මහතා මේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව පසුගිය රජය සමයේදී අත්සන් තැබුණු මෙම අදියර දෙක යටතේ මෙරටට ලැබීමට නියමිත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7.4 ක සහ 2.6ක ප්‍රදානයන් සහ ඊට අදාළ ගිණුම් විස්තර කිසිදු තැනක දක්නට නොමැති බවත් ඔහු මෙහිදී හෙළිදරව් වී තිබේ.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනයට ලක් කරමින් මාස 6ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව මෙම කමිටු වාර්තාව සම්පාදනය කර තිබේ.

විශ්ලේෂණය භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බවද කමිටුවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත. එසේම මෙම ව්‍යාපෘතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයාද පැහැදිලිකර ඇතැයි සභාපතිවරයා පවසා තිබේ.

එසේම ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ගිවිසුමට පටහැනිවීමක් බවටද සභාපතිවරයා මෙහිදී ජනපතිවරයාට පෙන්වා දී ඇත.

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්.ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කර තිබේ.

Visits: 79