ලංකා ලුණු සමාගමට ජනපති තවත් වසරක් දෙයි

2018 වසරේ සිට පාඩු ලබන ‘ලංකා ලුණු’ පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා වසරක කාලයක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්වය විමසුමට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

2016 වසරේදී රුපියල් කෝටි 70ක ලාභයක් හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2017 වසරේ ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු වුණු බව වාර්තා පවසයි. එසේම 2018 වසරේදී එය ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස පාඩු ලබා තිබේ.

මෙලෙස තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා, ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

සභාපතිවරයා ඇතුළු පිරිස පසුගියදා ලුණු අස්වනු නෙළමින්

1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත්වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබීය. පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන්ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් විය.

ඒ අනුව ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කර ඇති ජනාධිපතිවරයා ඉදිරි මාස 06ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නා ලෙස ලංකා ලුණු පෞද්ගලික සමාගම වෙත  දන්වා තිබේ.

“ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළ යුතුව තිබෙනවා. 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතුයි. පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග පමණක් මට අවශ්‍යයි.” යනුවෙන් ජනපතිවරයා මෙහිදී පැවසූ බව මාධ්‍ය අංශය සදහන් කර සිටියි. 

මෙම සාකච්ඡාව සදහා ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර, සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිට ඇත.

Visits: 99