කොවිඩ්-19 අතරතුර HNB කාඩ්පත් රහිත ගනුදෙනු ඉහළට

හැටන් නැෂනල් බැංකුව මගින් හඳුන්වාදී ඇති කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම වන Cash to Mobile භාවිතය පසුගිය COVID-19 වසංගතයේ උච්චතම කාලවකවානුව අතරතුරදී 70%ක වැඩිවීමක් වාර්තා කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

ඒ අනුව 2020 ජනවාරි සිට මැයි දක්වා කාලය පුරාවට Cash to Mobile ගනුදෙනුවල සාමාන්‍ය වශයෙන් (මාසයෙන් මාසයට) 60%ක වැඩි වීමක් බැංකුව නිරීක්ෂණය කර තිබේ. එසේම 2020 මාර්තු මාසයේදී, මෙම පහසුකම හේතුවෙන් පරිශීලකයින් අතර සිදු වූ ගනුදෙනු සංඛ්‍යාව 127%ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි බැංකුව පවසයි.  

මෙහිදී බැංකුවේ කාඞ්පතක් හෝ ගිණුමක් නොමැතිව මෙම පහසුකම භාවිතයෙන් HNB ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ලබා ගැනීමට හැකියාව ලැබීම මෙම පහසුකම ප්‍රචලිතවීමට හේතුව ලෙස බැංකුව සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා, “ඩිජිටල් මුදල් ගෙවීම්වල ක්ෂණික වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් විකල්ප ගනුදෙනු ආකෘතීන් වැළඳ ගනිමින් මේ ආකාරයේ සේවා මගින් නිර්මාණාත්මක භාවිතයන් සොයා ගන්නා බවයි. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය දැඩි ලෙස ක‍්‍රියාත්මක වන මොහොතක, කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීම් වැනි සේවාවන් දෛනික ගනුදෙනු කටයුතුවලදී ජනප‍්‍රිය ක‍්‍රමයක් බවට පත් වෙමින් තිබුණා” යනුවෙන් පවසයි.

එහිදී විශේෂයෙන්ම cash to mobile පහසුකම මගින් සිදුවන ගනුදෙනු ප‍්‍රමාණය වැඩි වී ඇති බව නිරීක්ෂණය කෙරුණු අපේ‍්‍රල් හා මැයි කාල සීමාව සඳහා පාලන ගාස්තු අය නොකිරීමටද HNB බැංකුව පියවර ගෙන ඇත.

බැංකුව සඳහන් කරන ආකාරයට මෙම පහසුකම මගින් බැංකුවේ ජංගම බැංකුකරණ වේදිකාව හරහා ජංගම දුරකථනයකට එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 40,000ක් දක්වා මුදල් යැවීමට HNB ගිණුම් හිමියන්ට අවස්ථාව සැලසේ. එවිට ලබන්නාට දිවයින පුරා පිහිටි 617 ක් වන  ඕනෑම HNB ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් මුදල් ලබා ගැනීමට කෙටි පණිවිඩයක් මගින් එවනු ලබන PIN අංකය භාවිතා කළ හැකිවීම විශේෂත්වයක් බවද හැටන් නැෂනල් බැංකුව පවසයි.

Visits: 61