විවාහ උත්සව සඳහා 200කට වැඩි පිරිසකට අවසර දීමට සාකච්ඡා?

විවාහ මංගල්‍යය හා වෙනත් උත්සව සඳහා සහභාගි කරගත හැකි පිරිස 200 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනය, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා පවසයි. ඊට අදාළ යෝජනාව දැනටමත් කොවිඩ්-19 පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කර ඇතැයිද සඳහන් වෙයි.

එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාරපාන සපයන්නන්ගේ සංගමය ඊයේ (ජූනි 23දා) බියගම පිහිටි උත්සව ශාලාවකදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මෙම සාකච්ඡාව සඳහා දිවයින පුරා විසිරී සිටින උත්සව ශාලා හිමියෝ 100කට අධික පිරිසක්ද සහභාගි වූ බවත් පැවසෙයි.

මෙහිදී එම සංගම් නියෝජිතයන් සහ උත්සව ශාලා හිමියන් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා සහභාගි කරවා ගත හැකි සංඛ්‍යාව 100 දක්වා සීමා කර තිබීම ප්‍රමාණවත් නොවන බවක් පෙන්වා දී තිබේ.

එහිදී විවාහ මංගල්‍ය උත්සවයකදී උත්සවශාලා හිමියන්ට දැරීමට සිදුවන පිරිවැයත් සමග බරපතල පාඩුවක් සිදුවන බවද ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය නිසා ආහාර පාන සපයන්නන්, වීඩියෝ හා කැමරා ශිල්පීන්, අෂ්ඨක කියවන්නන්, මගුල් බෙරකරුවන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවද සංගම් නියෝජිතයෝ අමාත්‍යවරයා වෙත අවධාරණය කර තිබේ.

ඒ අනුව මෙම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බවත්, ඉතා ඉක්මණින්ම ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම සංගම් නියෝජිතයන් වෙත සඳහන් කර ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.

Visits: 39