විදෙස් තැරැව්කරුවන් ගැන SEC වෙතින් අනතුරු ඇඟවීමක්

විදේශීය රටවල ගනුදෙනු සිදුවන සමාගම්හි කොටස්වල මුදල් ආයෝජනය කර, ඉහළ සහ ස්ථිර ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දුවක්ද සමග විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම් පිලිබඳව කල්පනාකාරී වන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම මෙවැනි විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයින්ගෙන් ලැබෙන, දුරකතන ඇමතුම් සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයිද සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා දී ඇති කොටස් තැරැව්කාර සමාගම් ලැයිස්තුව සිය වෙබ් අඩවිය වන www.sec.gov.lk හෝ කොළඹ කොටස් වෙලෙඳ පොළේ වෙබ් අඩවිය වන www.cse.lk හරහා ලබා ගත හැකි බවත් ඔවුන් පවසයි.

“වෙනත් රටවලදී ක්‍රියාත්මක වීමට හෝ විදේශීය රටවල කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට කිසිවෙකු හට බලපත්‍ර ලබාදීමක් හෝ නියාමනය කිරීමක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිදු නොකරයි.” යනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 158