කොරෝනා නිසා හානි වූ ව්‍යාපාර 13,861කට රු.බිලියන 28ක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර 13,861 ක් සඳහා රුපියල් බිලියන 28ක ණය මුදලක් 4%ක පොළී අනුපාතිකයක් යටතේ ලබාදීමට අනුමත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස 2020 මාර්තු 24 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ප්‍රතිමූල්‍ය පහසුකම යටතේ මෙම ණය ප්‍රදානය කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයෙහි පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 27.9 ක මුදලක් අනුමත වී ඇත. එහිදී ඊයේ (ජූනි 24) දිනට බැංකු පද්ධතිය තුළින් ව්‍යපාර 7,274 ක් සඳහා රුපියල් බිලියන 14.8ක මුදලක් මුදාහැර ඇතැයිද මහ බැංකුව පවසයි.

“මෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24 කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇත.” නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ රුපියල් බිලියන 120ක මුදලක් 1%ක  වාර්ෂික පොළී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදීමටද යෝජනා වී තිබේ.

“එම මුදල් බැංකු පද්ධතිය හරහා කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර යළි ගොඩනැංවීම සඳහා 4%ක සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුදා හැරීමට කටයුතු යොදා තිබේ.” මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 103