අප්‍රේල් සියලුම ආනයන වියදම් පහළ යද්දී මෝටර් රථ ආනයන වියදම ඉහළට

මේ වසරේ අප්‍රේල් මාසය තුළ පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ යන සියලුම ආකාරයේ ප්‍රධාන ආනයන කාණ්ඩවල වියදම් පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව පාරිභෝගික භාණ්ඩ සඳහා කළ වියදම 2019 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 308.1 සිට 2020 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලයන 302.5 දක්වා  1.8% කින් පහත බැස ඇත. එසේම අන්තර් භාණ්ඩ සඳහා වූ වියදම 2019 වසරේදී රුපියල් මිලියන 882.5 සිට 2020 අප්‍රේල් මාසයේදී 570.0 ක් දක්වා 35.4%කින් පහත වැටී තිබේ. ඊට අමතරව ආයෝජන භාණ්ඩ සඳහා වූ ආනයනය වියදම 2019 දී ඩොලර් මිලියන 404.1 සිට 2019 දී ඩොලර් මිලියන 249.6 දක්වා 38.2% කින් පහත බැස ඇත.

මේ සියල්ලමත් සමගින් 2020 අප්‍රේල් මාසයේදී සිදු කර ඇති සමස්ත ආනයන සඳහා වූ වියදම ඩොලර් මිලියන 1,122.6 ක් ලෙස සටහන්ව ඇති අතර එය 2019 දී සිදුකළ සමස්ත ආනයන වියදම වූ ඩෙලාර් මිලියන 1,595.6 ට සාපේක්ෂව 29.6%ක පහත වැටීමක් ලෙසත් සටහන්ව ඇත.

කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් තෝරාගත් පාරිභෝගික භාණ්ඩ ආනයනයට පහසුකම් නැවැත්වීම ඇතුළුව රජයේ සහ මහ බැංකුව විසින් 2020 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගද මෙම ආනයන වියදම අඩු වීමට හේතු වූ බව මහ බැංකුව පවසයි.

“ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉහළ ගියද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන පහත වැටීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම අඩු වේගයකින් වුවද පහත වැටී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා රේගුව අනුගමනය කළ තෝරාගත් ආනයන නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය සහ රට තුළ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ආනයනය ආශ්‍රිත අනෙක් සේවාවන්ට බාධා පැමිණීම, ගෝලීය සැපයුම් සහ සේවා පහසුකම් දාමයට බාධා පැමිණීම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් භාණ්ඩ මිල ගණන් පහළ යෑම මෙලෙස ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහත වැටීමට හේතු වී තිබේ.” මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 වසරේ අප්‍රේල් මාසයේදී පාරිභෝගික භාණ්ඩ, අන්තර්භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ යන සියලුම ප්‍රධාන ආනයන කාණ්ඩවල ආනයන වියදම පහත වැටීම සිදුව තිබේ. බොරතෙල් සඳහා වූ සාමාන්‍ය ආනයන මිල ගණන් පහළ යෑම මෙන්ම පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු සාමාන්‍ය ආනයන මිල ගණන් පහත වැටීම හා පිරිපහදු කළ ඛනිජ තෙල් සහ බොරතෙල් ආනයන පරිමා පහත වැටීමද ඉන්ධන ආනයන වියදම පහළ යෑමට හේතු වූ බව මහ බැංකුව සඳහන් කරයි.

“යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, රෙදි පිළි හා රෙදි පිළි උපාංග, ගොඩනැගිලි ද්‍රව්‍ය, තිරිගු හා ඉරිඟු, ඛනිජ, නිෂ්පාදන සහ ප්‍රවාහන උපකරණ ආනයනය කැපී පෙනෙන ලෙස පහත වැටුණි. 2020 වසරේ මාර්තු/අප්‍රේල් මාසවල පනැවූ ආනයන සීමා කිරීම්වලට යටත් වී විදුලි සංදේශ මෙවලම්, රෙදිපිළි හා උපාංග සහ ගෘහ උපකරණ වැනි ආහර නොවන පරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 අප්‍රේල් මාසයේදී පහත වැටුණි.”

කෙසේ වුවද රට තුළ කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමග ප්‍රධාන වශයෙන් සේවා ඇනහිටීම නිසා ශ්‍රී ලංකා රේගුවේ එකතු වූ රථවාහන නිදහස් කිරීම හේතුවෙන් 2020 වසරේ අප්‍රෙල් මාසයේදී ඊට පෙර මාසයට සාපේක්ෂව පෞද්ගලික රථවාහන ආනයන වියදම සැලකිය යුතු ඉහළ යාම සිදුව ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

මීට අමතරව එළවලු, මුහුදු ආහාර සහ කුළුබඩු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ යටතේ කාණ්ඩ කර ඇති ආහාර හා පාන වර්ග ආනයන වියදම ඉහළ ගිය අතර, අන්තර් භාණ්ඩ යටතේ කාණ්ඩ කර ඇති මූල ලෝහ, පොහොර කෘෂිකාර්මික යෙදවුම් හා ආහාර සැකසුම් ආනයන වියදම් ඉහළ ගිය බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 89