CSE ඩිජිටල්කරණයේදී KYC පටිපාටිය සංශෝධනයකට ඉල්ලයි?

කොටස් වෙළෙඳ පොළ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමේ කටයුත්තේදී බාධාවක්ව පවතින ගනුදෙනුකරුවා පිළිබඳව දැන ගැනීම (KYC – Know Your Customer) සම්බන්ධ ක්‍රියාපටිපාටිය වෙනස් කිරිම සඳහා අවසර ලබා දෙන ලෙස එහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා සහ මහ බැංකු අධිපතිවරයා ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අතර මේ පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්වී ඇතැයි මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකාබද්ධව ඇති කරගත් කමිටුවක් මගින් දැනටමත් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු ඩිජිටල්කරණයට ලක් කරමින් සිටියි. එහිදී නව ගිනුම් ආරම්භය අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සිදු කිරීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ආයෝජකයන් දිරිමත් කරමින් සිටියි.

එහෙත් මෙම නව ගිණුම් විවෘත කිරීමේදී අනිවාර්යය වී ඇති පවතින ගනුදෙනුකරුවා පිළිබඳව දැන ගැනීම (KYC – Know Your Customer) සම්බන්ධ ක්‍රියාපටිපාටිය සඳහා අතින් පුරවන ලියකියවිලි කිහිපයක්ම පවතී.

ඒ අනුව මෙම කටයුත්ත ඉතාමත් සංකීර්ණ බවත්, ඒ සඳහා වැඩි කාලයක් ගත වීම මෙන්ම සැලකිය යුතු ශ්‍රමබලයක් වැය වන බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මහ බැංකුව වෙත දන්වා ඇතැයි පුවත්පත සඳහන් වැඩිදුරටත් කරයි.

“නව ගිණුම් විවෘත කිරීමේදී බැංකු තුළ මේ KYC තොරතුරු සහ ගනුදෙනුකරුවේ සැබෑ තොරතුරු CDD (Customer due diligence) පවතිනවා. අපි මෙතැනදී යෝජනා කරන්නේ ආයෝජකයන්ගේ මේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු පදනම් කරගනිමින් කොළඹ කොටස් වෙළෙඳ පොළටත් මධ්‍යම තැන්පතු ගිණුමක් (Central Depository Systems) විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලයි.” සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා ඇත.

මෙම මධ්‍යම තැන්පතු ගිණුම ආරම්භ කළාට පසුව කොළඹ කොටස් වෙළෙඳ පොළ සති දෙකක කාලයක් ඇතුළතදී ආයෝජකයන් සමගින් මෙම KYC රෙගුලාසි අනුගමනය කිරීම පිළිබඳව විමසා සිටීමට කටයුතු කරන බවට තමන් මහ බැංකු අධිපතිවරයාට පැවසූ බවද දයාරත්න මහතා මෙහිදී පවසා ඇත. ඊට පැවැති සාකච්ඡා සඳහා මහ බැංකු අධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් ඔහු පුවත්පත වෙත සඳහන් කරයි.

මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ කොටස් තැරැව්කරුවන්ගේ රෙගුලාසි, මධ්‍යම තැන්පතු පද්ධතියට අදාළ රෙගුලාසි මෙන්ම සමාගම් ලැයිස්තුගත කිරීමේ කොන්දේසි යනාදී දේ සඳහා වන අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබුණි. එසේම විද්‍යුත් ක්‍රමවේදයක් හරහා කොළඹ කොටස් වෙළෙඳ පොළ නිෂ්කාශන සහ පියවීම් සිදු කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

මේ ක්‍රමවේද සියල්ල හරහා කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු කඩදාසි පාදක ක්‍රමයේ සිට ඉලෙක්ට්‍රොනික පාදක පරිසරයක් දක්වා ගෙන යෑම අරමුණ වී තිබේ. විශේෂයෙන්ම අන්තර්ජලාය හරහා සිදු කරන මෙවැනි ගනුදෙනු සමගින් පසුගිය මාර්තු මාසයේ මැද සිට මැයි මාසයේ මැදක් දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දැමීම නිසා ආයෝජකයන්ට සිදුවූ අපහසුතාවන් මින් ඉදිරියට සිදුවීම වළක්වා ගැනීම අපේක්ෂාව වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදය වෙත අරමුදල් සම්පාදනය වැළැක්වීම යනාදී කරුණු මූලික කරගනිමින් මෙම Know your Customer රෙගුලාසි ක්‍රියාත්මක වෙයි. 

Visits: 131