සංචාරක ක්ෂේත්‍රයේ කොරෝනා සහන ප්‍රකාශයට

• මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 20,000ක දීමනාවක්
• රියදුරන් සඳහා රුපියල් 15,000ක දීමනාවක්

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙම සහන සැලසීමේ වැඩසටහන සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට අයදුම් කළ හැකි බව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට වැඩසටහන යටතේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් 144,000 කට සහන සැලසීමට නියමිතව ඇත. ඒ අතරින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් සහ රියදුරන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් ලබා දීම සඳහා දැනටමත් අයදුම්පත් කැඳවා ඇත.

දැනටමත් මෙඑම අයදුම්පත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ පළ කර ඇති බවත්, ඒ ඔස්සේ එම අයදුම්පත් යොමු කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මීට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, ගමනාන්ත කළමනාකරණ සමාගම්, සංචාරක නියෝජිත ආයතන වෙත ඔවුන්ගේ කාර්යය මණ්ඩලවලට මාස 6ක වැටුප් ගෙවීම සඳහා 4%ක පොලියකට ලංකා බැංකුව මගින් ණය මුදලක් ලබා දීමේ කටයුතුද ඉතා ඉක්මණින්ම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පවසා සිටියි.

“මේ සඳහා වන අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකුව වෙත දැනටමත් යොමු කර තිබෙනවා. මහ බැංකුව අදාළ දැනුම්දීම කළ වහාම මෙම ණය මුදල එම ව්‍යාපාරවල නියුතු වූවන්ට ලබා ගත හැකි වේවි.” අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම අධිකාරියේ ලියාංපදිංචි ආයතනවල ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීමටත්, සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලුම වාහන කල්බදු සඳහා ලබා දී ඇති මාස 6ක සහන කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට සම්බන්ධයෙන්ද අදාළ අංශ දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සහන සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනය මෙසේය…

මාධ්‍ය නිවේදනය: සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන්ට ලබා දෙන සහන පිළිබඳ සවිස්තර ලැයිස්තුව

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන සමඟ සම්බන්ධ වී ඇති පුද්ගලයින් 144,000 කට ආසන්න පිරිසකගේ ජීවිත පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව, පහත සඳහන් සහන ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් සමඟ යෝජනා කර ඇත.

1. අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති නවාතැන් සපයන්නන් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම් වල (DMCs) සේවකයින් 124,000 කගේ වෑටුප් ගෙවීම සදහා 4% ක සහන පොලී අනුපාතයකට රජයේ පශ්චාත් COVID-19 සහන අයවැය යටතේ ඇප රහිතව ලංකා බැංකුව (BoC) හරහා ණය පහසුකම් ලබා දීම. බැංකුව විසින් සෘජුවම උපරිම වශයෙන් රු.20,000 ක මුදලක් මසකට එක් සේවකයෙකුට මාස හයක කාලයක් සඳහා නවාතැන් හිමියන් විසින් සපයනු ලබන ඊපීඑෆ්/ඊටීඑෆ් වාර්තා මත පදනම්ව ලබා දෙනු ලැබේ. සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සියලුම නවාතැන් සපයන්නන්ගේ තොරතුරු අධිකාරිය විසින් සපයනු ඇත.

2. අවන්හල්, සංචාරක හිතකාමී ආහාර ගන්නා ස්ථාන, ස්පා සහ සුවතා මධ්‍යස්ථාන, කුළුබඩු උද්‍යාන, සංචාරක සාප්පු සහ ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ආයතන 851 ක සේවකයින් 10,000 කට ආසන්න සංඛ්‍යාවකගේ වැටුප් ගෙවීම සඳහා සමාන ණය පහසුකමක් ලබා දෙනු ඇත. බැංකුව විසින් සෘජුවම උපරිම වශයෙන් රු.15,000 ක මුදලක් මසකට එක් සේවකයෙකුට මාස හයක කාලයක් සඳහා ආයතනවල අයිතිකරුවන් විසින් සපයනු ලබන ඊපීඑෆ්/ඊටීඑෆ් වාර්තා මත පදනම්ව ලබා දෙනු ලැබේ. 

3. ඉහත 1 සහ 2 සඳහා සුදුසුකම් සහ කොන්දේසි පහත දැක්වේ.

  • අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝ මේ මොහොතේ ලියාපදිංචිය ක්‍රියාවට නංවා ඇති ඉහත කාණ්ඩවලට අයත් සියලුම ආයතන සුදුසුකම් ලබයි (විදේශ ආයෝජන ඇතුළුව)
  • TDL (සංචාරක සංවර්ධන බද්ද) ගෙවා ඇති ආයතනවලට පළමු ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.
  • සියළුම ණය බෙදාහැරීම් 2019 දී සේවක ඊපීඑෆ් ගෙවීම් කළ සේවා යෝජකයන්ට වේ
  • සියලුම බෙදාහැරීම් ලංකා බැංකුව හරහා සිදු කෙරේ.
  • බෙදාහැරීම් ආයතනික ඇපකරයකට හෝ ලංකා බැංකුවට පිළිගත හැකි පුද්ගලික හෝ ස්වාධීන ඇපකරුවෙකුට යටත් වේ.
  • ණය කාලය තුළ සහ සම්පූර්ණ ගෙවීම තෙක්; ණය ගැනුම්කරු SLTDA සමඟ ලියාපදිංචි විය යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම ගිවිසුම කඩ කිරීමක් ලෙස සැලකේ.
  • සියලුම ණය බෙදාහැරීම් මාසිකව සේවක බැංකු ගිණුම් වෙත කෙලින්ම යවනු ලැබේ.
  • 2020 අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී මෘදු කාරක ප්‍රාග්ධන ණය ලබාගෙන ඇති ලියාපදිංචි ආයතන ද සුදුසුකම් ලබයි.

4. ආපසු ගෙවීම: අදාළ වන පොලී අනුපාතය වාර්ෂිකව 4% ක් වන අතර මෙය බෙදාහැරීමේ දිනයේ සිට වසර දෙකක සහන කාලයක් සහිත අවුරුදු පහක (5) ණයක් වේ.

5. සංචාරක සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඈති සංචාරක මාර්ගෝපදේශකයින් සහ රියදුරන් සංචාරක පදනමක් මත (tour basis) සේවයේ යෙදෙන බෑවින් ඔවුන් ඊපීඑෆ් / ඊටීඑෆ් සඳහා හිමිකම් නොලබන අතර එබැවින් අධිකාරිය විසින් සංචාරක මගපෙන්වන්නන් සඳහා රු .20,000 ක් සහ සංචාරක රියදුරන්ට රු .15,000 ක එක් වර දීමනාවක් ලබා දෙනු ඇත. මෙම ගෙවීම් අධිකාරිය විසින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත කෙලින්ම යවනු ලැබේ.

6. 2020 මාර්තු 1 සිට අගෝස්තු 31 දක්වා කාල සීමාව සඳහා අධිකාරියේ ලියාපදිංචි නවාතැන් සපයන්නන්ගෙන් අයවිය යුතු මුදල් ප්‍රමාද කිරීම සහ සමුච්චිත බිල්පත් පියවීම සඳහා මාස 12 ක වාරික සැලැස්මක් ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දීම. මෙම කාල සීමාව තුළ විදුලිය සහ/හෝ ජල බිල්පත් ගෙවා ඇත්නම්, මාස 12 ක සහන කාලයක් සහතික කිරීම සඳහා අමතර ණය කාලයක් ලබා දීම.

7. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව සහ සහන කාලය තුළ පැහැර හැරීමේ ගාස්තු රහිතව සංචාරක කටයුතු සඳහා බදු දී ඇති වාහන සඳහා ලබා දී ඇති මාස හයේ සහන කාලය මාස දොළහක් දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනවලට චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.

Visits: 54