පෝර්ට් සිටියේ ඩො. බිලියන 1 ආයෝජනයට අනුමැතිය

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි හි ඉදිකිරීම්කරුවා වන චයිනා හාබර් ඉන්ජිනියරිං කම්පැනි (CHEC) මගින් එහි සිදු කිරීමට යෝජිත ඩොලර් බිලියන 1ක මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඊයේ අනාවරණය කෙරිණි.

අදියර දෙකකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය වසර 8ක් තුළදී නිම කිරීම සැලසුම වී තිබේ. කාර්මික, අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය මගින් මෙම ආයෝජනය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ලෙස ගොඩකරන ලද කොළඹ වරාය නගර භූමියෙන් හෙක්ටයාර 116 ක භූමියක් එය ඉදි කළ චයිනා හාබර් ඉන්ජිනියරිං කම්පැනි සමාගමේ මව් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වෙත අයත් වෙයි. 99 අවුරුදු කල්බදු පදනම මත මෙම භූමිය සමාගම වෙත ලබා දී තිබේ. ඉන් හෙක්ටයාර 6.8ක භූමියක මෙම නව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීම සැලසුම වී තිබේ.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, “මෙම ඩොලර් බිලියන 1ක ආයෝජන යෝජනාව අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීම සැලසුමයි. එතැනදී ප්‍රථම අදියර ඩොලර් මිලියන 400ත් 500ත් අතර සංඛ්‍යාවකිනුත්, දෙවැනි අදියර ඩොලර් මිලියන 500ත් 600ත් අතර සංඛ්‍යාවකිනුත් ලෙස කොටස් දෙකකින් නිම කිරීමට යෝජනා වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සිදුවන දැවැන්තම ආයෝජනයක් හැටියට හඳනාගෙන තිබෙනවා.”

මෙහිදී පෝර්ට් සිටි නගරයෙහි කුලුණු පහකින් සමන්විත දැවැන්ත ගොඩනැගිලි සංකීරෟණයක් ඉදිකිරීමටත්, එම ගොඩනැගිලි නිවාස සංකීර්ණ, හෝටල් සහ කාර්යාල පහසුකම් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත. එසේම බෝට්ටු සහිත කුඩා වරාය පහසුකම් සැලසීමටත්, උද්‍යාන ඇතුළු පොදු පහසුකම් ඉදිකිරීමටත් යෝජනා වී ඇතැයිද සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

“මෙම ආයෝජනයත් සමගම නැවත වතාවක් ශ්‍රී ලංකාවට විශාල විදේශ ආයෝජකයන්ට පැමිණෙනන්ට අවස්ථාව සැලසෙනවා. පෝට් සිටි ව්‍යාපෘතිය හා සමගාමීව සිදු කරන මෙම ව්‍යාපෘතිය වගේම ලංකාවේ දේශීය ව්‍යවසායකයන්ටත් ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.”

මෙම ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සහ විශාලත්වය පිළිබඳ සලකා බලා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත) පනතේ සහ 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (සංශෝධිත) නීතියේ විධිවිධාන පරිදි එකී ආයෝජනය සඳහා අදාළ දිරි දීමනා ලබා දීමට හැකි වන පරිදි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම පිණිස කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Visits: 99