මහ බැංකු අධිපති පත්කරද්දී රජය වරද්දා ගත්තා – නිමල් පෙරේරා

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා පත් කරගැනීම වත්මන් රජය සිදු කර ඇති එකම වැරැද්ද බව මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා අදහස් දැක්වීමක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම පත් කිරීම සිදු කරද්දී සිංගප්පූරුවේ හෝ ඉන්දියාවේ ක්‍රමය අනුමගනය කරන්නට තිබූ බවත්. ඔවුන් සිය මහ බැංකු පවත්වාගෙන යාම සඳහා වඩාත් ඉහලම සුදුසුකම් සහිත වඩාත් තරුණ වෘත්තීයවේදීන් යොදා ගත් බවත්, කිසිදු විටෙක වයස්ගත ආර්ථික උගතුන් ඒ සඳහා පත් නොකර ගත් බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියි.

කොවිඩ්-19 අර්බුදය අවස්ථාවේදී මහ බැංකුවේ නිද්‍රාශීලී ස්වභාවය සම්බන්ධයෙන් ඊයේ ජනපතිවරයා සිදුකළ දැඩි විවේචනාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන නාලක ගුණවර්ධන මහතා දැක්වූ අදහසකට පිළිතුරු ලබාදීමක් ලෙස නිමල් පෙරේරා මහතා මේ අදහස් දක්වා ඇත.

“ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පත්ව එන විඩාවට පත් වූ වයස්ගත ආර්ථික විද්‍යාඥයන්ගෙන් කිසියම් හෝ දැක්මක් හරි විසඳුමක් හරි ලැබෙන්න පුලුවන්ද? මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ලක්ෂ්මන් මහතා පත් වන්නේ ඔහුගේ වයස අවුරුදු 78 දී. ඒ වනවිට ඔහුට මහ බැංකුව තුළ කිසිම ආකාරයක අත්දැකීමක් තිබුණේ නෑ. ඒ වගේම ඔහු වයස අවුරුදු 70 සීමාවත් ඉක්මවලා.” නාලක ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර තිබුණි.

එසේම නිමල් පෙරේරා මහතාගේ අදහස් දැක්වීමට පිළිතුරු දී ඇති නාලක ගුණවර්ධන  මහතා, සිංගප්පූරුවේ මුදල් අධිකාරිය හෙවත් මහ බැංකුවේ සභාපතිත්වය දරන 63 හැවිරිදි තාර්මාන් ෂන්මුගරත්නම් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා  ලෙස කටයුතු කරන අසූවයස්කාරයාට වඩා තරමක් බාල බවත්, මෙහිදී ගැටලුව ඇත්තේ වයසේ නොව දැක්මේ සහ ක්‍රියාශීලීත්වයේ බවත් සඳහන් කරයි. ඒ අනුව අධි-ශාස්ත්‍රීය දැක්මක් සහිත මහාචාර්ය ලක්ෂ්මන් මහතා සතුව එවැනි ලක්ෂණ කිසිදු ලක්ෂණයක් නොවූ බවත් නාලක ගුණවර්ධන මහතා පවසයි.

මෙහිදී තවත් එක් ට්විටර් පරිශීලකයෙකු හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  මහතාගේ ධුර කාලය සම්බන්ධයෙන් විමසීමක් සිදු කර ඇති අතර ඊට පිළිතුරු දී ඇති නිමල් පෙරේරා මහතා, ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙකු වුවත් මහ බැංකුවක් පවත්වාගෙන යාම සඳහා සුදුසු අයෙකු නොවන බව පවසා ඇත. ඒ අනුව කුමාරස්වාමි මහතා ක්‍රමවත් සහ විධිමත් අයෙකු වුවත් ඔහු ක්‍රියාෂීලී අයෙකු නොවූ බව ඔහු සඳහන් කරයි.

Visits: 1148